හියුන් සියැන් හිමියන්ගේ දඹදිව චාරිකාව - 2

 

හියුන් සියැන් හිමියන්ගේ සංචාරය පිළිබඳව අභුත කතා ගොතමින් සත්‍ය විකෘති කරමින් කටයුතු කරන හෙළ බුදුන් කණ්ඩායම් වලට පිළිතුරු ලෙස උන්වහන්සේ ගේ සංචාරය ගැන පුරාවිද්‍යාත්මක සාධක සමග නිවැරදි විස්තරයක් ඉදිරිපත් කිරිම මේ ලිපි පෙලේ අරමුණයි. ඉන් පළමු ලිපියෙන් හියුන් සියැන් හිමියන් පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කළෙමි. මින් ඉදිරියට උන්වහන්සේ ගේ සංචාරය පිළිබඳව පිළිවෙලින් විස්තර කිරිමට බලාපොරොත්තු වෙමි. 


ක්‍රිව 630 වන විට හියුන් සියැන් හිමියන්ට වයස අවුරුදු 26 කි. උන්වහන්සේ එවකට චීනයේ අගනුවර වන චාන්ග් ආන් (Chang'an) හී සිය ගමන ආරම්භ කිරිමට සුබ ලකුණක් බලාපොරොත්තුවෙන් රැඳි සිටියේය. එහිදි උන්වහන්සේ සිහිනයෙන් මහා සමුද්‍රය මැද පිහිටි සුමේරු පර්වතය දැක සමුද්‍රය තරණය කොට සුමේරු පර්වතය මතට නැග හාත්පස දර්ශනය කරන ආකාරය දුටුවේය. මෙම සිහිනය දඹදිව බලා යන සිය දීර්ඝ ගමන ආරම්භ කිරිමට මංගල සළකුණක් සේ උන්වහන්සේ සැලකුවේය. 

~~ හියුන් සියෑන් හිමියන් චීනයේ සිට ගොඩබිම් මාර්ග වලින් සේද මාවත ඔස්සේ දඹදිවට පැමිණි අතර මුහුද හරහා ගමන් නොකලේය. ප්‍රධාන ගොඩබිමෙන් මුහුදෙන් වෙන්වු දූපතක් වන ලංකාවට උන්වහන්සේ පැමිණීමට නම් මුහුද තරණය කිරිම අත්‍යවශ්‍ය වේ. නමුත් උන්වහන්සේ ගේ සංචාරක විස්තරයේ එලෙස මුහුද තරණය කර වෙනත් ගොඩබිමකට ගිය බවක් සඳහන් නොවේ. හියුන් සියෑන් හිමියන් වැඩම කළ දඹදිව මේ ලංකා දූපත බව පවසන හෙළ බුදුන් කණ්ඩායම් වලට එයට දීමට සුදුසු පිළිතුරක් නැත. එබැවින් හෙළ බුදුන් කණ්ඩායම් මේ සිහිනයේ කරන විස්තරය පෙන්වා උන්වහන්සේ මුහුද තරණය කළ බව කීමට ඉතාමත් හාස්‍යජනක උත්සාහයක් දරනු දැකිය හැක. නමුත් මේ විස්තරය උන් වහන්සේ දුටු සිහිනයක් පමණක් වන අතරම එය දකින්නේ ගමන ආරම්භයටත් පෙර චීන අගනුවර සිටියදි බව සහ උන්වහන්සේ මුහුද තරණය කර පිවිසෙන්නේ දඹදිවට නොව සුමේරු පර්වතය මතට බව මේ පිරිස නොදුටුවා සේ කටයුතු කරමින් සිය ව්‍යාජ මතයම ප්‍රචාරය කරමින් සිටියි.~~

සිහිනය දැකිමෙන් අනතුරුව හියුන් සියැන් හිමියන් චාන්ග් ආන් වලින් තවත් භික්ෂුන් වහන්සේ නමක් සමග පිටත් වී චීනය හරහා ගමන් කරමින් එකල ලියංචෞ (Liangzhou) වෙත පැමිණ මසක් පමණ එහි රැඳි සිටියේය. 

~~ හියුන් සියැන් හිමියන් ගේ ගමනේ මෙම මුල් කොටස වැදගත් වන්නේ උන්වහන්සේ ගොඩබිම් සේද මාර්ගය ඔස්සේ සිය සංචාරය සිදු කළ බව ඉන් තහවුරු වන බැවිනි. චීනය තුළ මෙම නගර දෙකේ පිහිටීම අනුව උන්වහන්සේ ගමන් කළ දිශාව පැහැදිලිව බලා ගත හැක. චාන්ග් ආන් (Chang'an) හෙවත් වර්තමානයේ ෂියාන් (Xi'an) යනු චීනයේ අගනුවර ලෙස දීර්ඝ කාලයක් පැවති නගරයකි. ක්‍රිපු 202 සිට ක්‍රිව 907 දක්වා විවිධ රාජවංශ යටතේ එය චීනයේ අගනුවර වශයෙන් පැවතිණි. එමෙන්ම පුරාණ ලෝකයේ පිහිටි විශාලතම නගරයක් ලෙසද ක්‍රිව 6 සහ 7 සියවස් වල ලෝකයේ පැවති විශාලතම නගරය ලෙසද ඉතිහාස ගතවි ඇත.  එහි සිට හියුන් සියැන් හිමියන් ගමන් කරන්නේ ලින්ග්චෞ හෙවත් වර්තමානයේ වූවෙයි (Wuwei) නගරයටයි. එය සේද මාර්ගයේ පිහිටි ඉතා වැදගත් නගරයක් වන අතර සේද මාර්ගයේ චීනයේ සිට බටහිරට දිවෙන මාර්ගයේ හෙක්සි කොරිඩෝරයේ (Hexi Corridor) නැගෙනහිර අන්තයේ පිහිටා තිබිම එහි වැදගත් කම ඉහළ නංවා ඇත. තරණය කිරිමට සාපේක්ෂව අපහසු ටිබෙටියානු සහ මොගෝලියානු සානු දෙක අතර පිහිටි ගමන් කිරිමට පහසු පටු බිම් තීරුව හෙක්සි කොරිඩෝරය ලෙස හැඳින්වේ. එබැවින් චීනයේ සිට බටහිරට ගමන් කරන මාර්ගය ස්වභාවිකවම මේ හරහා වැටි තිබිණි. මේ ලෙස උන්වහන්සේ සේද මාර්ගය ඔස්සේ වයඹ දෙසට සිය ගමන පිටත් වන ආකාරය අපට වැදගත් වන්නේ හෙළ බුදුන් කණ්ඩායම් උන්වහන්සේ මේ සම්මත සේද මාර්ගය ඔස්සේ නොපැමිණි බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන බැවිනි. ~~ 

ලින්ග්චෞ හිදි එහි ආණ්ඩුකාරවරයා එවකට පැවති නීතිය අනුව චීන වැසියන්ට රටින් පිටව යෑම තහනම් බැවින් උන්වහන්සේට ආපසු හැරි යන ලෙස දැනුම් දුන්නේය. නමුත් එම කලාපයේ නායක හිමියන් වූ හුයි වෙයි (Hwui-wei) හිමියන් ගේ අනුදැනුම මත උන්වහන් ගේ ශිෂ්‍යයන් වු හුයි ලින් (Hwui-lin) සහ ටාඕ චින් (Taou-ching) යන භික්ෂුන් වහන්සෙලා දෙනම විසින් රාත්‍රියේ පමණක් ගමන් කරමින් රහසින්ම හියුන් සියැන් හිමියන්ව බටහිරට රැගෙන යන ලදි. එලෙස ගමන් කළ උන්වහන්සේ පැමිණෙන්නේ ක්වාචෞ ප්‍රදේශය (Kwa-chow) වෙතයි. ක්වාචෞහි ආණ්ඩුකාරයා විසින් උන්වහන්සේ ගෞරවයෙන් පිළිගෙන අවශ්‍ය සත්කාර සහ පහසුකම් සලසා ඇත.

~~ ක්වාචෞ වර්තමානයේ හඳුන්වන්නේ Guazhou ලෙසයි. එයද සේද මාර්ගය හරහා හෙක්සි කොරිඩෝරයේ බටහිරට ගමන් කරන විට හමුවන ඉදිරි නැවතුමකි. ගූගල් සිතියම ආධාරයෙන් ටිබෙටියානු සහ මොන්ගෝලියානු සානු දෙක අතර පිහිටි මේ පටු බිම් තීරුව ඉතා පැහැදිලිව බලා ගත හැක. එමෙන්ම මෙම ගමන් විස්තරය අනුව පවසන භුමී ලක්ෂණ මෙම මාර්ගයට මැනවින් ගැලපෙන ආකාරයද නිරික්ෂනය කළ හැක. හෙළ බුදුන් කණ්ඩායම් හියුන් සියැන් හිමියන් මේ මාර්ගයේ නොපැමිණි බව පවසන්නේ නම් චීනයේ අගනුවර සිට ඔවුන් පවසන නිවැරදි ගමන් මාර්ගය උන්වහන්සේ ගමන් කළ මෙම මාර්ග විස්තරයට ගැලපෙන ආකාරයට පිළිවෙලින් පෙන්විය යුතුය. එසේ නොකට සංචාරයේ අතනින් මෙතනින් ගත් කෑලි එකට අමුනා විකාරයක් පෙන්වීම ඔවුන්ගේ මත වල ව්‍යාජ බව වසා ගැනීමට ගන්නා දුර්වල උත්සාහයක් බව කිව යුතුය. ~~

ක්වාචෞ හී ආණ්ඩුකාරවරයා විසින් ඉදිරි මාර්ගයේ දුෂ්කරතා ගැන හියුන් සියැන් හිමියන් දැනුවත් කරන අතර තරණය කිරිමට දුෂ්කර ගංගාවක්, කන්තාර කොටසක් සහ මුර ගෙවල් පහක් ගැන විස්තර කර ඇත.  මේ වන විට සිය අශ්වයාද මියගොස් සිටි බැවින් ඉදිරි ගමනේ දුෂ්කරතා ගැන කණස්සල්ලට පත් උන්වහන්සේ මාසයක් පමණ එහි රැඳි සිටි බව සඳහන් කරයි. මෙම අවස්ථාවේ රහසින් මගහැර ආ ලින්චෞ හි ආණ්ඩුකාරයා විසින් හියුන් සියැන් හිමියන් සොයා පිටත් කළ ඔත්තුකරුවන් උන්වහන්සේ රඳවා ගැනීමේ නියෝගයක්ද සහිතව පැමිණි නමුත් උන්වහන්සේ කෙරේ පැහැදි සිටි ක්වාචෞ හී ආණ්ඩුකාරයා විසින් එය ඉරා දමා හැකි ඉක්මණින් උන්වහන්සේට පිටත්ව යන ලෙස උපදෙස් ලබා දෙන ලදි. 

ලින්චෞ හී සිට උන්වහන්සේ සමග පැමිණි භික්ෂුන් වහන්සේලා දෙනම අතරින් එක් අයෙකු වෙනත් දෙසකට හැරි ගිය අතර අනෙක් භික්ෂුන් වහන්සේ දීර්ඝ සංචාරයකට සුදුසු තත්වයක නොසිටින බව තීරණය කළ හියුන් සියැන් හිමියන් උන්වහන්සේට ආපසු යන ලෙස දැනුම් දෙන ලදි. හියුන් සියැන් හිමියන් සතුව තිබු ද්‍රවය සමග හුවමාරුවෙන් අශ්වයකු ලබා ගත් උන්වහන්සේ ගමනට සුදුසු මගපෙන්වන්නෙකු හමුවන තුරු බලා සිටියේය. එහිදි හමුවු විදේශික තරුණයකු උන්වහන්සේට මග පෙන්වීම සඳහා ඉදිරිපත් වන අතර ඔහු විසින් එම මාර්ගයේ බොහෝ වතාවක් ගමන් කොට අත්දැකිම් ඇති මහළු පුද්ගලයෙක් සහ ඔහුගේ රතු පැහැති කෘෂවු අශ්වයාද රැගෙන ආවේය. එහිදි එම මහළු පුද්ගලයා ගේ උපදෙස් පරිදි උන්වහන්සේ සිය අශ්වයාට එම රතු පැහැති කෘෂ අශ්වයා හුවමාරු කරගත්තේය. අගනුවර දි උන්වහන්සේගේ දඹදිව ගමන කළ හැකි බවත් එහිදි උන්වහන්සේ රතු පැහැති කෘෂ අශ්වයකු පිට නැගි යන්නකු වැනියැයි නිමිත්ත පාඨකයකු විසින් පවසා තිබිමත් එයට හේතුවක් විය.  අනතුරුව එදින රාත්‍රියේ එම විදේශික තරුණ මගපෙන්වන්නා සමග හියුන් සියැන් හිමියන් බටහිර බලා යන ගමන නැවතත් ආරම්භ කළේය.


මතු සම්බන්ධයි.


මනෝජ් කුමාර


Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

ෆාහියන් හිමියන් තරණය කල කාන්තාරය යනු මහවැලි ගඟ ද

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්