හියුන් සියැන් හිමියන්ගේ දඹදිව චාරිකාව. ( 01 )

 

චීන ඉතිහාසය පුරාවටම වරින් වර චීනයේ සිටි බෞද්ධ භික්ෂුන් වහන්සෙලා රාශියක් බුද්ධ දේශය සොයා ඉන්දීය උපමහද්වීපයට වැඩම කළ අතර උන්වහන්සේලා අතුරින් වඩාත් වැදගත් චරිතයක් ලෙස හියුන් සියෑන් හිමියන් ( Xuanzang) හැඳින්විය හැක. එම චීන භික්ෂුන් වහන්සේලා ලියූ වාර්තා අතරින් වඩාත් සවිස්තරාත්මක හා මෑත කාලිනව බුදු රජාණන් වහන්සේට අදාළ ස්ථාන සොයාගැනිමට ඉමහත් රුකුලක් ලබාදුන් වාර්තාව උන්වහහන්සේ ලියු The Great Tang Dynasty Record of the Western Regions නම් සටහනයි. "හියුං සියැන් භ්‍රමණවෘත්තාන්තය" නමින් පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් එහි සිංහල සංස්කරණයක් සකස් කර ඇත.

හියුන් සියැන් හිමියන් ක්‍රිව 600 දි චෙන් (Chen) පවුලේ සාමජිකයෙක් ලෙස උපත ලබන්නේ චීනයේ චෙන්ලියු (Chenliu) ප්‍රදේශයේදිය. එම ප්‍රදේශය වර්තමානයේ හේනාන් පළාතේ [Henan province] කායිෆෙන්ග් නගර සභාවට [Kaifeng municipility] අයත් ප්‍රදේශයක් වේ.



දරුවන් හතර දෙනෙකු ගෙන් යුතු පවුලේ බාලම දරුවා වූ හියුන් සියෑන් හිමියන් අවුරුදු විසිදෙක  වන විට අධ්‍යාපනය අවසන් කර ක්‍රිව 622 දි චෙන්ග්දු (Chengdu) හිදි බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් බවට පත්වි ඇත. 

උන්වහන්සේ අධ්‍යාපනය හදාරන විට චීන බසින් තිබු බෞද්ධ ලේඛන වල හමුවු අපහැදිලි සහ ගැටලුකාරි තත්වයන් පිළිබඳව කල්පනා කළ හියුන් සියැන් හිමියන් එම ගැටලු විසඳා ගැනිම සඳහා එම චීන පරිවර්තන වලට හේතුවු මුල් ලේඛන සොයා දඹදිවට යාමට තීරණය කර ඇත. උන්වහන්සේ විශේෂයෙන්ම උනන්දු වී ඇත්තේ යෝගාචරභූමි ශාස්ත්‍ර ( yogacarabhumi-sastra ) පිළිබඳවය. 

එවකට චීන රාජාණ්ඩුව විසින් පනවා තිබු විදේශ ගමන් තහනමද නොසලකා නිළ අවසරයක් රහිතව උන්වහන්සේ රහසින්ම දඹදිව ගමන ආරම්භ කරන්නේ ක්‍රිව 629 වර්ෂයේදිය. ඒලෙස ගමන් අරඹා නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ වර්තමාන පකිස්තානය සහ ඉන්දියාවට පැමිණි උන්වහන්සේ වසර දහසයක් එම සංචාරයට වැය කර ඇත (ක්‍රිව 629-645). 



එම කාලය තුළ එවකට ප්‍රසිද්ධ බෞද්ධ විශ්වවිද්‍යාලයක් වූ නාලන්දා විශ්වවිද්‍යාලයේ සීලභද්‍ර (Selabadhra) හිමියන් ඇසුරේ බුදු දහම පිළිබඳව අධ්‍යයනය කළ අතර, බුදු දහම පිළිබඳ විද්වතෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ උන්වහන්සේ එවකට රජකල සීලාධිත්‍ය (Siladitya) රජුගේ අනුග්‍රහයද ලැබුවේය.

ඉන්දීය උපමහද්වීපය පුරා සංචාරය කළ උන්වහන්සේ බෞද්ධ පත පොත හයසිය පනස් හතක් රැගෙන ආපසු චීනයට වැඩම කළ අතර එහිදි එවකට චීනයේ රජකළ ටායිසොන්ග් (Taizong 627-649 CE) රජුගේ ගෞරව සත්කාරයට සහ සම්මානයට පාත්‍ර විය.



අනතුරුව එම රජතුමාගේ ආරාධනයෙන් හියුන් සියැන් හිමියන් සිය සංචාරයේ විස්තර ලේඛන ගත කිරිම ආරම්භ කළ අතර තවත් බෞද්ධ භික්ෂුවක් වූ බියැන්ජි (Bianji) හිමියන්ගේ සහයද ඇතිව එම කටයුත්ත ක්‍රිව 646 දි එනම් උන්වහන්සේගේ සංචාරය අවසන් වී වසරකට පසුව අවසන් කර ඇත. 



බුද්ධ දේශය සොයා ක්‍රිව හත්වන සියවස තරම් අතිතයක දීර්ඝ කාලයක් ගත කර කිලෝමීටර් දහස් ගණනක් සංචාරය කරමින් බුදු රජාණන් වහන්සේට අදාළ ස්ථාන පිළිබඳව සවිස්තරාත්මකව ලේඛන ගත කළ හියුන් සියැන් හිමියන්ට බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ.


නමුත් බෞද්ධ ඉතිහාසය විකෘති කිරිමේ කුළි මෙහෙයුමේ කුළිකරුවන් විසින් උන්වහන්සේ ගේ වාර්තාවේ කොටස් විකෘති කර දක්වමින් උන්වහන්සේගේ මාහැඟි කර්තව්‍යය අපකීර්තියට ලක්වන අයුරින් කටයුතු කරන බැවින් සත්‍ය පෙන්වා දෙමින් උන්වහන්සේගේ සංචාරය පිළිබඳව පුරාවිද්‍යාත්මක සාධක සමග සංසන්දනය කරමින් ලියන ලිපි මාලාවක ප්‍රථම ලිපිය ලෙස මෙය පලකරමි.


මනෝජ් කුමාර

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

ෆාහියන් හිමියන් තරණය කල කාන්තාරය යනු මහවැලි ගඟ ද

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්