ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ පැවතිය නො හැකි ද?
ෆාහියන් හිමියන් සිය සංචාරය අතර තුර දි දුටු ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ යනු උන්වහන්සේ වැඩම කරන කාලයට ශතවර්ෂ හතකට පෙර කාවන්තිස්ස රජතුමා විසින් ලංකාවේ සේරුවාවිල මංගල මහා සෑයේ නිදන් කල ලලාට ධාතුන් වහන්සේ නොවන බව මීට පෙර ලිපියෙන් සාධක සහිතව තහවුරු කර පෙන්වා ඇත.
එම ලිපියට සබැඳිය
ඉහත කාරණයට අමතරව ෆාහියන් හිමියන් දුටු ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ සහ දන්ත ධාතුන් වහන්සේලා පිලිබඳව හෙල බුදුන් කණ්ඩායම් තවත් විකෘති මත කිහිපයක් ඉදිරිපත් කරන බැවින් ඒවා පිලිබඳව ද සත්‍ය පැහැදිලි කිරිම මේ ලිපියේ අරමුණයි.
ඔවුන් එහි දි රැගෙන එන ප්‍රධානතම මතය නම් බුදු රජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු නො විසිරුණු ධාතුන් වහන්සේලා සත් නමක් පමණක් ඉතිරි වූ බවත් ඒ හත අතර ශීර්ෂ කපාල ධාතුවක් ගැන සඳහන් නොවන බැවින් එවැනි ධාතුන් වහන්සේ නමක් තිබිය නොහැකිය යන මතයයි. ඒ පිලිබඳව මූලාශ්‍ර වල කරුණු සලකා බලමු.
බුදු රජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු ඉතිරි වු නො විසිරුණු ධාතුන් වහන්සේලා පිලිබඳව සඳහන් වන පැරණිතම මූලාශ්‍රයක් වන්නේ අටුවාවයි. අටුවාවේ ඒ කොටස පහත උපුටා දක්වමි.
~~ උන්වහන්සේගේ ඇතැම් ධාතුන් වහන්සේලා විසිරී ගියහ. කීපයක් විසිර ගියේ නැත. දළදා වහන්සේලා සතර නමත් අකුධාතු දෙකත් නළල ය යන ධාතූන් සත්නම නො විසිරුණාහ. ඉතිරිවා විසිරී ගියේය. එහිදී කුඩාම ධාතූන් වහන්සේලා අබ ඇට පමණ වූහ. මහා ධාතූන් වහන්සේලා මැදින් කැඩුනු හාල්ඇටයක් ප්‍රමාණ වූහ. ඉතාම විශාල ඒවා මැදින් බිඳුනු මුංඇටයක ප්‍රමාණ විය.~~
(මහාපරිනිබ්බාන සූත්‍ර වර්ණනාව )
මේ අටුවාවේ සඳහන අනුව නො විසිරුණු ධාතුන් වහන්සේලා අතර ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ නමක් ගැන සඳහන් නොවේ. එහි විස්තර කර ඇත්තේ නො විසිරුණු ධාතුන් වහන්සේලා සත් නමක් පිලිබඳව පමණි. නමුත් ඉතිහාස මූලාශ්‍ර පිලිබඳව සැලකීමෙ දි වැඩි ප්‍රමුඛත්වය ලැබෙන්නේ වඩාත් ම ප්‍රාථමික මූලාශ්‍රය ට බව ඉතිහාසය ගවේෂණය කරන කවුරුත් දැන සිටිය යුතු මූලික කාරණයකි.
ඒ අනුව මේ ප්‍රස්තුතයේ දි වඩා පැරණි සහ වඩා ප්‍රාථමික මූලාශ්‍රය මෙන්ම බෞද්ධයන් හට නම් වඩාත් ම වැදගත් මූලාශ්‍රය වන්නේ ත්‍රිපිටකය යි.
ත්‍රිපිටකයේ බුදු රජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා පිළිබඳව සඳහන් වන්නේ කෙසේ ද යන්න සලකා බලමු. එහි දි ඉහත අටුවා සූත්‍ර වර්ණනාව ට අදාල මහාපරිනිබ්බාන සූත්‍රයේ මෙසේ සඳහන් වේ.
~~ පසැස් ඇති බුදුරජුන්ගේ සිරුරැ ධාතූහු ද්‍රෝණ අටෙකි. එයින් ද්‍රෝණ සතක් ධාතූන් දඹදිවැ පුදත්. පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ එක් ද්‍රෝණයක් ධාතූන් රඹගමැ නාරජුහු පුදති.
එක් දළදායෙක් වූ කලි දෙවියන් විසින් පුදනු ලැබේ. එක් දළදායෙක් ගන්‍ධාර පුරයෙහි පුදනු ලැබේ. යලි තව ද දළදායෙක් කළිඟු රජුගේ රටෙහි පුදනු ලැබේ. තව එක් දළදාවක් (නාලොවැ) නා රජුහු පුදති.~~
(මහාපරිනිබ්බාන සූත්‍රය)
මහාපරිනිබ්බාන සූත්‍රයේ දි ඉහත එම සූත්‍ර අටුවාවේ සඳහන් වන නො විසිරුණු ධාතුන් වහන්සේලා පිලිබඳව සඳහන් නොවේ. එහි සඳහන් වන්නේ බුදු රජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ අටක් වූ බවත් සහ ඉන් සතර දළදා වහන්සේලා තිබෙන ස්ථාන සතර පිලිබඳව ය. මීට අමතරව මෙම මහාපරිනිබ්බාන සූත්‍රයේ ම හෙල බුදුන් කණ්ඩායම් නො දුටුවා සේ සිටින, ඉහත අටුවා කතාවෙන් ඇතිවුන පරස්පරය විසඳා ගැනීමට උපකාරි වන වැදගත් කාරණයක් සඳහන් ව ඇත. ඒ කොටස පහත උපුටා දක්වමි.
~~ සම සාළිස් දන්තධාතූන් ද කේශ ධාතූන් ද ලෝමධාතූන් ද එක එකක් පාසා සක්වළ පිළිවෙළින් දෙවියෝ ගෙන ගියහ.~~
(මහාපරිනිබ්බාන සූත්‍රය )
මේ කොටස අතිශයින් වැදගත් වන්නේ ඉහත අටුවාවේ සඳහන් නො විසිරුණු ධාතුන් වහන්සේලා සත් නමට අමතරව නො විසිරුණු තවත් ධාතුන් වහන්සේලා තිබුණ බව පැහැදිලි වම මෙහි ප්‍රකාශ වන බැවිනි. අටුවාවේ සඳහන් සතර දළදා වහන්සේලා ට අමතරව අනිකුත් දළදා වහන්සේලා තිස් හයත් නො විසිරුණු බවත් ඒ දළදා වහන්සේලා සක්වළවල් වල දෙවියන් විසින් රැගෙන ගිය බවත් මෙහි ඉතා පැහැදිලිව සඳහන් වේ.
එමෙන්ම මෙම කාරණය ත්‍රිපිටකයේ ම ධාතුභාජනිය කථා වලදි මේ අකාරයෙන් ම සඳහන් වේ.
~~ ශීලාදිගුණයෙන්) මහත් වූ ගෞතම නම් සර්‍වඥයන් වහන්සේ කුසිනාරා නගරයෙහි පිරිනිවියහ. (උන් වහන්සේගේ) ධාතූන් වහන්සේ ඒ ඒ පෙදෙස්හි පතළාහ.
එක් කොටසෙක් අජාතශත්‍රැගේ රාජධානියෙහි ද, එක් කොටසෙක් විසල්පුරයෙහි ද, එක් කොටසෙක් කිඹුල්වත්හි ද, එක් කොටසෙක් අල්ලකප්ප නම් රටෙහි ද–
එක් කොටසෙක් රාමගම්හි ද, එක් කොටසෙක් වෙඨද්වීපයෙහි ද, එක් කොටසෙක් පාවානුවරවැසි මල්‍යයන් කෙරෙහි ද, එක් කොටසෙක් කුසිනාරා නුවරවැසි මල්‍යයන් කෙරෙහි ද වී. ~~
~~ එක් දළදාවක් තිදස්පුරයෙහි ද එක් දළදාවක් නාගපුරයෙහි ද එක් දළදාවක් ගන්‍ධාරදේශයෙහි ද එක් දළදාවක් කලිඟුරජුගේ විජිතයෙහි ද වූ යැ.
සමසතලිස් දන්තයෝ ද කෙස් ද ලොම් ද දෙවියෝ සක්වළ පරපුරින් සර්‍වප්‍රකාරයෙන් එකෙක විසින් ගෙන ගියහ.~~
(ධාතුභාජනිය කථා )
එහි ද බුදු රජාණන් වහන්සේ ගේ නො විසිරුණු ධාතුන් වහන්සේලා පිලිබඳව විශේෂ යමක් නො පවසන අතරම සම සතළිස් දළදා වහන්සේලා ගැන සඳහන් කර තිබීමෙන් ඒ ධාතුන් වහන්සේලා නො විසිරුණු බව පැවසීය හැක.
ඉහත උපුටා දැක්වුණ ත්‍රිපිටක සූත්‍ර දෙකේ ම සතර දළදා වහන්සේලා ට අමතරව ඉහත අටුවාවේ සඳහන් වන ලලාට සහ අකු ධාතුන් වහන්සේලා තුන් නම පිලිබඳව විස්තර සඳහන් නොවේ.
එසේම අටුවාවේ සඳහන් නො විසිරුණු ධාතුන් සත් නමට අයත් නොවන ලංකාවේ මහියංගණ සෑයේ නිදන් කර ඇති බුදු රජාණන් වහන්සේ ගේ ග්‍රීවා ධාතුන් වහන්සේ පිළිබඳව ද කිසිත් සඳහන් නොවේ.
මේ අනුව ඉහත ධාතුන් වහන්සේලා පිලිබඳව අටුවා සහ ත්‍රිපිටක සූත්‍ර ඇසුරෙන් ගත හැකි සාධාරණ නිගමනය වන්නේ බුදු රජාණන් වහන්සේ ගේ නො විසිරුණු ධාතුන් වහන්සේලා සත් නමකට වඩා තිබූ බවත් ඒ සියල්ල එකින් එක එම මූලාශ්‍ර වල විස්තර කර නොමැති බවත් ය යන තර්කානුකූල නිගමනයයි.
ඒ ආකාරයට බුදු රජාණන් වහන්සේ ගේ ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ නමක් පැවතීම කිසිසේත්ම අරුම පුදුම කාරණයක් නොවන බව ඉතා පැහැදිලි වම පෙන්වා දිය හැක. යමෙක් එසේ නොව ඉහත අටුවාවේ සඳහන් ධාතුන් වහන්සේලා සත් නම පමණක් නො විසිරුණු බවක් පවසන්නේ නම් ත්‍රිපිටකයේ සූත්‍රවල සඳහන් ආකාරයට සම සතළිස් දළදා වහන්සේලා ඉතිරි වූයේ කෙසේ ද යන පැනයත් ලංකාවේ මහියංගණය චෛත්‍යයේ නිදන් කර ඇති ග්‍රීවා ධාතුන් වහන්සේ ඉතිරි වූයේ කෙසේ ද යන්නත් විසඳා දිය යුතු ය. ග්‍රීවා ධාතුන් වහන්සේ ආදාහන චිතකයෙන් ලබාගත් බව පැවසීම මෙහිදි ප්‍රායෝගික පිළිතුරක් නොවන්නේ ආදාහන චිතකයෙන් ග්‍රීවා ධාතුන් වහන්සේ ලබා ගැනීමට වුවත් ඒ වන විට බුද්ධ ශරිරයේ ධාතුන් වහන්සේලා විසිරි තිබිය යුතු වන බැවිනි.
පළමු ලිපියෙන් පෙන්වු පරිදි ෆාහියන් හිමියන් දඹදිව දි දුටු ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ යනු ධාතුවංසයේ සඳහන් වන ලංකාවේ කාවන්තිස්ස රජතුමා සේරුවිල චෛත්‍යයේ නිදන් කර ඇති ලලාට ධාතුන් වහන්සේ වීම කිසිසේත්ම සිදු විය නො හැකි අතර, මේ ලිපියේ පෙන්වූ පරිදි ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ නමක් නො විසිරුණු ධාතුන් වහන්සේ නමක් ලෙස පැවතීමට ඇති හැකියාවත් නිසා එම ධාතුන් වහන්සේ දුටුවා යැයි ප්‍රකාශ කරන ෆාහියන් හිමියන්ගේ වාර්තාවේ කිසිදු ගැටලුවක් හෝ පරස්පරය ක් නොමැති බව තහවුරු වේ.
එමෙන්ම තවත් එවැනි ම වූ ධාතුන් වහන්සේ නමක් පිලිබඳව විස්තර මෙහිදි සඳහන් කිරිම වැදගත් යැයි සිතමි.
ෆාහියන් හිමියන්ගේ වාර්තාව අනුව උන්වහන්සේ එම ධාතුන් වහන්සේ දකින්නේ වර්තමාන පකිස්ථාන සහ ඇෆ්ගනිස්තානය යන රටවල් වලට අයත් ප්‍රදේශයක් වුන නාගරහාර නම් වූ රාජ්‍යයේ දීයි. ඊට අමතරව චීන පුරාවිද්‍යාඥයන් විසින් වර්ෂ 2007-2010 කාලයේදි චීනයේ Nanjing හී පිහිටි Grand Bao'en විහාරයේ කළ කැණීමක දි ඉතා වැදගත් සොයා ගැනීමක් සිදු කර ඇත. එනම් බුදු රජාණන් වහන්සේ ගේ කපාල ධාතුන් වහන්සේ සහ ශ්‍රාවකයන් ගේ ධාතුන් වහන්සේලා බවට අභිලේඛන සඳහනක් සහිත කරඬුවක් සහ ඒ තුළ සුරැකි තිබුණ කපාල ධාතුන් වහන්සේ සහ අනෙකුත් ශ්‍රාවකයන්ගේ ධාතුන් වහන්සේලා යි.
ධාතුන් වහන්සේලා අඩංගු කර තිබු කරඬු
Comments
Post a Comment