ආටානාටිය සූත්‍රය භාවිතා කර සිදු කරන ඉතිහාස විකෘතිය.

 ආටානාටිය සූත්‍රය භාවිතා කර සිදු කරන ඉතිහාස විකෘතිය.


පසුගිය දිනක ඉතිහාස විකෘතිකයන්ට එරෙහිව මවිසින් ලියු පෝස්ටුවකට සිය අදහස් පල කල එක්තරා මහත්මයෙකු විසින් ආටානාටිය සූත්‍රය යොදාගෙන ලංකා ඉතිහාසය පිලිබඳව ඉදිරිපත් කල විකෘති ප්‍රකාශයක් හේතුවෙන් මේ ලිපිය ලිවිමට තීරණය කලෙමි.


ඔහුගේ අදහස ඔහුගේ බසින්ම කිවහොත් "ආටානාටිය කියන්නේ හෙල රජවරුන්ගේ සම්මුතියක්" යන්නයි. එනම් සරලව කිවහොත් ඔහු පවසනා ආකාරයට ආටානාටියේ එන වරම් රජවරුන් සතර දෙනා සහ ඔවුනගේ පිරිස වන යක්ෂ, නාග, කුම්භාන්ඩ සහ ගාන්ධර්ව යන සත්ව කොට්ඨාස මනුෂ්‍යන් වන බවත් වරම් රජවරුන් සතර දෙනා යනු ඊනියා සිව් හෙලයක රජවරුන් වන බවත්‍ වේ. 


මෙහිදි ඔහු මතු කරන ප්‍රධාන තර්කය වන වරම් රජවරුන් සහ යක්ෂ, නාග, කුම්භාන්ඩ සහ ගාන්ධර්ව යන පිරිස් මනුෂ්‍යන් ය යන කාරනය සත්‍ය ද යන්න අටානාටිය සූත්‍රයේ අඩංගු කරුනු ඇසුරින් සලකා බලමු.


◼  අටානාටිය සූත්‍රය යනු මනුෂ්‍ය වාසස්ථාන වලින් දුර බැහැරව වනාන්තර, කඳු, ගල් ගුහා වැනි දුෂ්කර හුදකලා ස්ථානවල බවුන් වඩන භික්ෂුන් වහන්සේලා ට අමනුෂ්‍යයන් ගෙන් කරදර බාධා සිදුවන අවස්ථාවන් වලදි ආරක්ෂාව පිණිස භාවිතා කිරිම සඳහා සතර වරම් දෙවිවරුන් බුදු රජාණන් වහන්සේට ලබාදුන් සූත්‍රයකි. 

එබැවින් යක්ෂයන්, නාගයන්, කුම්භාන්ඩයන් සහ ගාන්ධර්වයන් යනු මනුෂ්‍යන් නම් භික්ෂුන් වහන්සේලාට ඔවුන්ගෙන් ආරක්ෂා වීම පිණිස පිරිතක් අවශ්‍ය වන්නේ කුමටද යන පැනයට ඔවුන් මනුෂ්‍යන් ලෙස හඳුන්වන අය පැහැදිලි පිලිතුරක් ලබා දිය යුතුය.

කොටින්ම කිවහොත් ආටානාටිය සූත්‍රයේ එන සත්වයන් මනුෂ්‍යන් නම් ආටානාටිය සූත්‍රයක් අවශ්‍ය වන්නේද නැත.


◼ එලෙසම අටානාටිය සූත්‍රයේ ඉතාම පැහදිලිව යක්ෂ, නාග, ගාන්ධර්ව සහ කුම්භාන්ඩ යන පිරිස් අමනුෂ්‍යයන් බව දේශනා කර ඇත්තේ මෙසේය.


~~යක්‍ෂයෙක් හෝ යක්‍ෂණියක් හෝ යක්‍ෂපෝතකයෙක් හෝ යක්‍ෂපෝතිකාවක් හෝ යක්‍ෂ මහාමාත්‍රයෙක් හෝ යක්‍ෂ පාරිෂද්‍යයෙක් හෝ යක්‍ෂපරිවාරකයෙක් හෝ, ගන්‍ධර්‍වයෙක් හෝ ගන්‍ධර්වියක් හෝ ගන්‍ධර්‍ව පෝතකයෙක් හෝ ගන්‍ධර්‍වපෝතිකාවක් හෝ ගන්‍ධර්‍ව මහාමාත්‍රයෙක් හෝ ගන්‍ධර්‍ව පාරිෂද්‍යයෙක් හෝ ගන්‍ධර්‍ව පරිචාරකයෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියෙක් හෝ කුම්භාණ්ඩ පෝතකයෙක් හෝ කුම්භාණ්ඩ පොතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍රයෙක් හෝ කුම්භාණ්ඩ පාරිෂද්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පරිචාරකයෙක් හෝ නාගයෙක් හෝ නාගිනියක් හෝ නාගපෝතකයෙක් හෝ නාගපොතිකාවක් හෝ නාග මහාමාත්‍රයෙක් හෝ නාගපාරිෂද්‍යයෙක් හෝ නාග පරිචාරකයෙක් හෝ මෙකී කිසි යම් අමනුෂ්‍යයෙක් ද්වේෂයෙන් ප්‍රද්විෂ්ට සිතැත්තේ~~



මෙලෙස ඉතාම පැහැදිලිව අමනුෂ්‍යයන් ලෙස කරන සඳහන යමෙක් හිතා මතා මගහැර ඔවුන් මනුෂ්‍යන් ලෙස හඳුන්වන්නේ නම් ඒ පුද්ගලයා ගේ අවශ්‍යතාවය හෝ මානසික මට්ටම පිලිබඳව සැකයක් මතුවීම අතිශයින් සාධාරණය.


◼ එසේම සතර වරම් රජවරුන් සහ පිරිස බුදු රදුන් බැහැ දක්නට ගිජුකුළු පව්වට රාත්‍රි කාලයේ එනවිට ඔවුනගේ ශරිරාලෝකයෙන් අවට ආලොකමත් වූ බවද සූත්‍රයේ සඳහන් වේ.


~~  එ කලැ වරම් දෙව් මහරජහු සතර දෙනා මහත් යක්‍ෂසේනායෙන් ද මහත් ගන්‍ධර්‍ව සේනායෙන් ද මහත් කුම්භාණ්ඩ සේනායෙන් ද මහත් නාගසේනායෙන් ද සතර දෙසැ රකවල් තබා, සතර දෙසැ බලමුළු පිහිටුවා, සතර දිගැ මුර කරුවන් රඳවා, රෑ (පෙරයම) ඉක්මි කල්හි, අභිකාන්ත වූ ශරීරප්‍රභා ඇත්තාහු, සියලු ගිජුකුළු පව්ව එකලු කොට, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ.~~


මනුෂ්‍යන් ට එලෙස ශරිර ප්‍රභාවෙන් අවට ආලොකමත් කිරිමේ හැකියාවක් නොමැති බැවින් මේ පිරිස අමනුෂ්‍යයන් බවට එය එක් සාධකයකි. 

ඇතැමුන් එයට පිලිතුරු ලෙස මෙලෙස ආලොකය විහිදෙන්නේ රජවරුන් පැළඳි ආභරණ වලින් බවට සිල්ලර තර්කයක් ගෙන එයි. ආලෝකය රහිත රාත්‍රියේ දි ස්වයංව ආලෝකය ජනනය නොකරන කුමන ආභරණයක් වුවද අවට ආලොකමත් කිරිමට තරම් දීප්තියක් ඇති නොකරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එලෙස ආලෝකය ජනනය කරන අධි තාක්ෂණික ඇඳුම් හා ආභරණ එකල තිබුනේ යැයි සැලකීම කොතරම් උචිත දැයි සිතිම ඔබ සැමට බාරය. 


◼ මීළඟ කාරනය නම් සතර වරම් රජවරුන් ගෙන් උත්තර දිශාවට අධිපති වෙසමුනි රජුගේ යටත් වැසියන් වන යක්ෂයන් පිලිබඳව කරන හැඳින්වීමේ ඇති මේ සඳහනයි.


~~එහි (වෙසවුණු රජු ගේ පිරිවර) යක්කු එළදෙන එක් කුරැති වාහනයක් කොට ගෙන, දිශායෙන් දිශාවට යෙත්. සිවුපාවකු එක් කුරයක් ඇති වාහනයක් කොටැ ගෙන දෙසින් දෙස යෙත්.

ගැබිනි ස්ත්‍රියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්. පුරුෂයකු වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්.

කුමරියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්. කුමරකු වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්.~~



මේ සූත්‍රයේ කියනා ආකාරයට ගැබිනියන්, පුරුෂයන්, කුමර කුමරියන් වාහන කොට ගෙන එහේ මෙහේ සැරි සැරිම වැන්නක් මනුෂ්‍යන්හට සිදු නොකල හැකි බව සිහි බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට පැහැදිලිව වැටහෙනවා යැයි සිතමි.


◼ එසේම මේ අමනුෂ්‍යයන් භාවනානුයෝගි භික්ෂුන් වහන්සෙලා ට කල හැකි කරදර ගැන ඇති සඳහන මෙසේය.


~~මේ යක් තෙමේ මා අල්ලා ගනී, මේ යක් තෙමේ මට ආවිෂ්ට වෙයි, මේ යක් තෙමේ මා පෙළයි, මේ යක් තෙමේ වෙසෙසින් මා පෙළයි, මේ යක් තෙමේ මට හිංසා කෙරෙයි, මේ යක් තෙමේ මා වෙහෙසයි, මෙ යක් තෙමේ මා නො මුදා (නො අත්හරි), ~~




මෙහි ඇති අල්ලා ගැනිම, පෙළීම හිංසා කිරිම මනුෂ්‍යන් හටද සිදු කල හැකි වුවද, ආවිෂ්ට වීම හෙවත් ආවේස වීම අමනුෂ්‍යයන් ට පමණක් සිදු කල හැකි දෙයකි. ඔවුන් මනුෂ්‍යන් නම් තවත් මනුෂ්‍යන්හට ආවේස වීමක් සිදු කරන්නේ කෙලෙස දැයි මේ විකෘති ගෙන එන අය පැහැදිලි කල යුතුය.


◼ අවසානයේ සතර වරම් රජවරුන් සහ පිරිස බුදු රදුන් හමුවේ සිට නික්ම යාම ගැන මෙසේ සඳහන් වෙයි.


~~ ඉක්බිති සතර වරම් මහරජහු හුනස්නෙන් නැගී, සාදර වැ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වූහ. ඒ යක්කුද හුනස්නෙන් නැගී, ඇතැම් කෙනෙක් සාදර වැ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට කරුණු වූ සිතැ රැඳැවියැ යුතු වූ කථා නිමවා එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වන්සේ දිසාවට දොහොත් නමා, එහි ම අතුරුදහන් වූහ. ආතැම් කෙනෙක් නම් ගොත් අස්වා එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් නිහඬ වූවාහු, එහි ම අතුරුදහන් වූහ.~~


එතැනම අතුරුදහන් වෙන්න මනුෂ්‍යන් ට පුළුවන් කමක් නැති බව වටහාගන්න ලොකු බුද්ධියක් අවශ්‍ය නැති නිසා මේ කියන්නේ අමනුෂ්‍යයන් ගැන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. 


◼  ආටානාටිය සූත්‍රයේ ඇති මේ උපුටා දැක්වූ කාරනා අනුව ශරිරයෙන් ආලෝකය විහිදුවන, ගැබිනි මව්වරුන් පුරුෂයන් කුමර කුමරියන් වාහන කරගෙන ගමන් යන, මිනිසුන්ට ආවේස වෙන, එතැනම අතුරුදහන් වෙන්න පුළුවන් සත්ව කොට්ඨාශයන් මනුෂ්‍යන් විය නොහැකි බවට කිසිදු සැකයක් නැත.


◼  ඉහත පෙන්නුවා වගේ ඉතාම පැහැදිලි කාරනා වලට එරෙහිව මේ විකෘති සමාජ ගත කරන පිරිස් ගෙන එන්නේ හරිම බොළඳ  සහ හාස්‍යජනක තර්ක.


ලොකුම තර්කයක් තමයි පාලියෙන් "චත්තාරෝ මහාරාජා" ලෙස සූත්‍රයේ ඇති සඳහන "සතර වරම් දෙවි රජවරු" ලෙස "දෙවි" කෑල්ලක් අතින් දාල වැරදියට පරිවර්තනය කරලා ලංකාවේ ඉතිහාසය හංගන්න හදනවා කියන එක.


ඉහත පෙන්වු කරුණු අනුව මේ සූත්‍රයේ කියන්නේ අමනුෂ්‍යයන් ගැන බව බොහොම හොඳින් පැහැදිලි වෙන නිසා සිව් දිසාවන්ට අධිපතිකම් දරන ඒ චත්තාරෝ මහාරාජා යන්න සතර වරම් දෙවි රජවරු ලෙස පරිවර්තනය කිරිම කිසිම වරදක් වන්නේ නෑ.


ඒ වගේම මහසමය සූත්‍රය වැනි සූත්‍ර ගනනාවක ඇති තවත් කරුනු අනුව මේ චත්තාරෝ මහා‍රාජා යනු මනුෂ්‍යන් නොවන බවට කිසිදු සැකයකින් තොරව පැවසිය හැකියි.


එලෙසම ලංකාවේ ඉපැරැණි ඉතිහාසය තුළ ඔය කියන ආකාරයේ සිව් දිසාවන්ට අධිපති මිනිස් රජවරුන් ගැන වත් සිව් හෙලයක් ගැනවත් කිසිම සඳහනක් හමුවන්නේ නෑ.

ලංකාවේ තිබ්බේ ත්‍රී සිංහලය මිසක් සිව් හෙලයක් නෙවෙයි.


ඒ වගේම මේ අටානාටිය සුත්‍රයේ සතර වරම් රජවරුන් පාලනය කරන ප්‍රදේශ ගැන විස්තර කරලා තිබ්බත් ඒ කිසිම තැනක සිව් හෙලයක් ගැන සඳහනක් නෑ. අටානාටිය සූත්‍රයේ තබා මුළු ත්‍රිපිටකයේ ම වත් සිව් හෙලයක් ගැන කිසිම සඳහනක් හමුවන්නේ නෑ. 


එහෙම සිව් හෙලය ගැන තියෙන පැරණි  ලිඛිත මූලාශ්‍රයක් ඉල්ලපු ගමන් මේ අය කරන්නේ  කිසිම අදාලත්වයක් නැති හෑල්ලක් කියවන එක හරි කලවම් ජාන ගැන අපහාස කරන එක හරි ඕනේ නම් හොයාගන්න කියලා පැනලා යන එක හරි වගේ දේවල්.


ලංකා ඉතිහාසයේ වත් සූත්‍රයේ වත් කිසිම සඳහනක් නැති සිව් හෙලයක් අහසින් පාත් කරලා, සූත්‍රයේ  පැහැදිලිව අමනුෂ්‍යයන් ලෙස කියවෙන පිරිස් මනුෂ්‍යන් ලෙස හුවා දක්වලා, බුද්ධ දේශනාවේ නැති බොරු ගොඩක් ගහලා  සුරංගනා කතා වගේ ව්‍යාජ ඉතිහාසයක් මවලා සමාජ ගත කරන්න හදන මේ අයගේ නිරුවත එලි කිරිම මේ ලිපියේ අරමුනයි.


මනොජ් කුමාර

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?