ලුම්බිණියේ ඉතිහාසය

 සිදුහත් බෝසතුන් උපත ලද පූජනීය ලුම්බිණි යේ ඉතිහාසය.

(පළමු කොටස)

බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක 37


 බුදු රදුන්ට සම්බන්ධ පූජනීය ස්ථාන අතුරින් බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිස අතින් වැඩිම විකෘතිය ට සහ නිග්‍රහයට ලක්වූ ස්ථානය ලුම්බිණිය යි.

ලුම්බිණි යේ ඉතිහාසය පිළිවෙලින් සාධක සාක්ෂි මූලාශ්‍ර සමග ඉදිරිපත් කිරිම අතිශයින් වැදගත් වන්නේ එබැවිනි.




ලුම්බිණිය පිළිබඳව සඳහන් වන පැරණිම මූලාශ්‍රය ත්‍රිපිටකය යි.


◾ ඛුද්දක නිකායේ නාලක සූත්‍රය මෙසේ සඳහන් කරයි


~සො බොධිසත‍්තො රතනවරො අතුල්‍යො

මනුස‍්සෙලොකෙ හිතසුඛතාය1 ජාතො,

සක්‍යාන ගාමෙ ජනපදෙ ලුම‍්බිනෙය්‍යෙ

තෙනම‍්භ තුට‍්ඨා අතිරිව කල්‍යරූපා.~


~~ (සම්‍යක් සම්බෝධිසමධිගමයට නිසි) උත්තම රත්න වූ (තමහට තුල්‍යයකු නැතියෙන්) අතුල්‍යවූ ඒ බෝධිසත්‍ව තෙමේ දෙවිමිනිස්නට හිතසුව පිණිස මිනිස් ලොවැ ශාක්‍යයන්ගේ ජනපදයෙහි වූ ලුම්බිනී නම් ගම්හි උපන. එහෙයින් අතිශයින් කල්‍යරූප වූවමෝ තුටු වම්හ.~~


◾ එසේම ඛුද්දක නිකායේ පබ්බජ්ජා සූත්‍රයේ මේ ශාක්‍ය ජනපදය හිමාලය අසල පිහිටි බව සඳහන් වීමෙන් ලුම්බිණියේ වර්තමාන පිහිටීම ගැන ත්‍රිපිටකයේ පැහදිලි ව සඳහන් බව පැවසීය යුතුය.


~උජුං ජානපදො රාජා හිමවන‍්තස‍්ස පස‍්සතො,

ධනවිරියෙන සම‍්පන‍්නො කොසලෙසු නිකෙතිනො.

ආදිච‍්චා නාම ගොත‍්තෙන සාකියා නාම ජාතියා,

තම‍්හා කුලා පබ‍්බජිතොම‍්හි රාජ න කාමෙ අභිපත්‍ථයං.~


~~මහරජ, ඉදිරි හිමවත් පස්හි ධනයෙන් හා වීර්‍ය්‍යයෙන් සපන්වූ කෝසල ජනපදයෙහි ආදිකාලයෙහි සිටැ අන්‍වයාගත මහරජහුගේ ජනපදයෙක් වෙයි.

ඔහු ගෝත්‍ර විසින් ආදිත්‍ය නම් ද ජාතියෙන් ශාක්‍ය නම් ද වෙති. මහරජ, මම ඒ කුලෙන් පැවිදි වූයෙම් කාමයන් පතනුයෙම් නොවෙමි.~~


◾එනම් මේ සූත්‍ර දෙක සැලකූ කළ වැදගත් කරුණු තුනක් ලුම්බිණිය පිළිබඳව ඉස්මතු වෙයි.


◾ හිමාලය අසල පිහිටීම

◾ කෝසල ජනපදය ට අයත් වීම

◾ශාක්‍ය ජනපදයේ පිහිටා තිබීම

යන කරුණු ත්‍රිත්වයයි. 

මේ කරුණු ත්‍රිත්වයම වර්තමාන නේපාලයේ ලුම්බිණිය සපුරා ඇත.



◾ මීළඟට ක්‍රිපූ තුන් වන සියවසේදී සිය අභිෂේකයෙන් 20 වන වර්ෂයේදී ධර්මාශෝක අධිරාජ්‍යයන් බුදු රදුන් උපත ලද ලුම්බිණිය වැඳපුදා ගත් බවත් හි මූලාශ්‍ර වල සඳහන් වෙයි.

එහි පිහිටවූ ටැම් ලිපිය එයට ඇති ප්‍රභල පුරාවිද්‍යාත්මක සාක්ෂියකි.



◾මෙයින් පසුව ක්‍රිව පළවන සියවසේ දී අශ්වඝෝෂයන් විසින් සංස්කෘත බසින් ලියූ බුද්ධචරිත කාව්‍යයේ බුදු රදුන් උපන් ස්ථානය ලුම්බිණිය බව සඳහන් කර ඇත.


◾අනතුරුව ක්‍රිව තුන් වන සියවසේ පමණ ලියවුණේ යැයි සලකන දිව්‍යාවදානයේ, කුණාල අවදාන පරිච්ඡේදයේ උපගුප්ත තෙරුන් වහන්සේ සමග අශෝක රජතුමන් බුදු රදුන්ට සම්බන්ධ ස්ථාන වැඳ පුදාගත් ආකාරය විස්තර කර ඇත.


එහිදී මුලින්ම වැඳ පුදාගත් ස්ථානය ලුම්බිණිය බවත්, උපගුප්ත තෙරුන් වහන්සේ බුදු රදුන් උපත ලද ස්ථානය සහ එහි පිහිටි සල් වෘක්ෂය පෙන්වා දුන් බවත් එහි සඳහන් වේ.


එසේම එහිදී දෙනෙතින් තුටු කඳුළු වගුරවමින් දණ්ඩ නමස්කාර කොට

" මෙතැන බෝසත් උපත සිදු විය" යන සටහන සහිත සෙල් ටැඹක් පිහිටුවීමට නියෝග කර ඒ සඳහා ලක්ෂයක් ප්‍රදානය කොට පිටත්ව ගිය බවත් සඳහන් වෙයි.


එලෙස අශෝක රජු විසින් පිහිටවූ ලිපිය සහිත අශෝක කුළුණ දිව්‍යවදාන සඳහන මගින් තහවුරු වීමත් එමගින් ලුම්බිණියේ පිහිටීම නිශ්චිතව තහවුරු වීමත් යන කරුණු වැදගත් වෙයි.


◾මේ වාර්තාගත තොරතුරු වලට පසුව වර්තමාන ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ නේපාලය වැනි රටවල් වලට අයත් ප්‍රදේශ වල සංචාරය කළ චීන භික්ෂූන් වහන්සේලා ගේ වාර්තා ඇති අතර ඉන් පළමුව පැමිණි, ක්‍රිව හතර වන සියවසේ මැද භාගයේ සංචාරය කළ චීන ජාතික Zhi Sengzai හිමියන් ගේ Waiguo shi හෙවත් Records of foreign countries නම් වාර්තාවේ ලුම්බිණිය ගැන සටහන් වෙයි. එම විස්තර වඩාත් හොඳින් සමකාලීන චීන භූගෝලීය තොරතුරු වාර්තාව වන Shui Jing Zhu හි ද අඩංගු වෙයි.


එම වාර්තා වලට අනුව විනාශයට පත්ව ඇති කපිලවස්තු පුරයේ සුද්ධෝදන රාජ වංශයෙන් පැවත එන පවුල් 20 ක් පමණ ඒ වන විටත් ජීවත් වී ඇති අතර ඔවුන්ගෙන් බහුතරය උපාසක වරුන් ලෙස ජීවත් වන බව සඳහන් ය.

එසේම ලුම්බිණි යේ දී මහාමායා දේවිය සිදුහත් කුමාරයාට උපත දුන් ස්ථානයේ පිහිටි වෘක්ෂය, ( එය අශෝක ගසක් ලෙස සඳහන් කර ඇත) සිදුහත් කුමරු මුලින්ම තැබූ පියවර සහ ඒ ස්ථානය, ඒවාට අශෝක රජු ගලින් කළ ආවරණය, සිදුහත් කුමරු නෑවීම සඳහා ජලය ලබාගත් පොකුණ ගැනද සඳහන් කර ඇත. 


◾මී ලඟට ක්‍රිව හතර සහ පස් වන සියවස් වලදී සංචාරය කළ ෆාහියන් හිමියන්ගේ වාර්තාවේ ලුම්බිණිය පිළිබඳව සඳහන් කර ඇත.


එහි කපිලවස්තු පුරයට ලී 50 ක් පමණ නැගෙනහිරින් පිහිටි ලුම්බිණි උයන ගැනද, එහි ඇති මහාමායා දේවිය ස්නානය කළ පොකුණ සහ සිදුහත් කුමරුට උපත දෙන අවස්ථාවේ අල්ලාගත් වෘක්ෂය ගැන සඳහන් වෙයි.




මෙහි ඇති විස්තර අනුව කපිලවස්තු පුරයේ සිට සාපේක්ෂ දිශාව සහ දුර වර්තමාන ලුම්බිණිය තහවුරු කිරීමේ දී ඉතාම වැදගත් වෙයි.


◾අනතුරුව ක්‍රිව හයවන සියවසේ සංචාරය කළ හියුං සැන් හිමියන් ගේ වාර්තාවේ ලුම්බිණිය පිළිබඳව සටහන් කර ඇත.

කපිලවස්තු නුවර දකුණු වාසල් දොරටුවේ සිට ලි 30 ක් ගිණිකොණ දෙසින් සිදුහත් කුමරු ශිල්ප දැක්වූ ස්ථානයේ පිහිටි ඊතල උල්පත ( Arrow spring) හා එයින් ලී 80-90 ඊසාන දෙසින් පිහිටි ලුම්බිණිය ගැනත්, එහි ඇති පොකුණ, මියයමින් ඇති අශෝක ගස සහ එහි වැදගත් ස්ථාන ලකුණු කිරීමට ඉදිකළ කුඩා ස්ථූප ගැනත් සඳහන් ය.

එසේම එහි ඇති වඩාත් වැදගත් කරුණ නම් එහි ඇති අශෝක කුළුණ පිළිබඳව ඇති සටහනයි. එසේම එය අකුණක් වැදීම නිසා ඉහළ කොටස කැඩී වැටී තිබූ බව සඳහන් කර තිබීමත් අදත් වර්තමාන ලුම්බිණියේ ඇති අශෝක කුළුණ එලෙස මුදුන් කොටස කැඩී තිබීමත් සමාන වීම ලුම්බිණිය තහවුරු කරන එක් සාක්ෂියක් බවට පත්වෙයි.




◾එසේම එතනින් ගිණිකොණ දිශාවට ගලන තෙල් නදිය සහ ලී 500ක් නැගෙනහිර දෙසට වන්නට පිහිටි රාමග්‍රාමය ගැනත් සඳහන් වෙයි. අදටත් එම තෙල් නදිය telar river ( tel = oil) ලුම්බිණි පූජාභූමියට ගිණිකොණ දිශාවට ගලාබැසීම අගනාම සාක්ෂියක් බවට පත්ව ඇත.



◾හියුං සැන් හිමියන් ලුම්බිණියේන් පිටත්ව අනතුරුව ළඟා වන්නේ එකල කුඩා රාජ්‍යයක්ව තිබූ නේපාලය වෙතටයි. එම කරුණ ද වර්තමාන ලුම්බිණිය තහවුරු කරන ප්‍රභල සාක්ෂියක් බවට පත්වෙයි.


◾අනතුරුව ක්‍රිව අටවන සියවසේ පමණ සංචාරය කළ තවත් චීන ජාතිකයන් වන වූ - කොන් (Wu-kong) සහ ෆැන් චී (Fang Chi) ලුම්බිණිය ගැන සටහන් කර ඇත.


◾ඉන්පසු ක්‍රිව 14 වන සියවසේ එහි සංචාරය කළ බටහිර නේපාලයේ රජ කළ රිපු මල්ල රජුගේ සංචාරය සහ එහි තිබූ අශෝක කුළුණ මත කළ ටැම් ලිපිය නම් කළ හැකිය.


එහි රිපු මල්ල නාමය සහ "ඔම් මානි පද්මේ හම්" යන මහායාන බෞද්ධ පාඨය සටහන් කර ඇත.




එනම් ක්‍රිව 14 වන සියවස පමණ වන විටත් ලුම්බිණිය සිදුහත් කුමරා උපන් ස්ථානය ලෙස සැලකුම් ලැබූ බවත් බෞද්ධයන් ගේ වන්දනාමානයට ලක්වී තිබූ බවත් තහවුරු වෙයි.


◾අනතුරුව එළඹෙන කාල පරිච්ඡේදයේ නියග, ගංවතුර භූමිකම්පා වැනි ස්වාභාවික හේතූන් සහ මුස්ලිම් වරුන්ගේ ආක්‍රමණත් හින්දුන් ගේ ක්‍රියාකලාපත් හේතුවෙන් ක්‍රමයෙන් ජනශූන්‍ය වි ගිය ලුම්බිණිය පිළිබඳව ශත වර්ෂ පහක පමණ කාලයක් වාර්තා රහිතව ගෙවී යයි.


ලුම්බිණිය නැවත ලෝකයේ සුවහසක් බෞද්ධ ජනතාවගේ වන්දනාවට පාත්‍ර වන පූජනීය භූමියක් බවට පත් වන ආකාරය මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න.


මූලාශ්‍ර

◾ ත්‍රිපිටකය ~ නාලක සහ පබ්බජ්ජා සූත්‍ර

◾ Buddacarita by Ashwagosha

◾ දිව්‍යවදානය~ කුනාල අවදානය

◾Record of the buddhist kingdoms by Faxian (ෆාහියන් හිමියන්ගේ සංචාරක සටහන් වාර්තාව)

◾ The great tang dynasty record of western regions by Xuanzan (හියුං සැන් හිමියන්ගේ වාර්තාව)

◾ හියුං සියැං බ්‍රමනවෘතාන්තය ~ පොල්වත්තේ බුද්ධදත්ත හිමි.

◾Rediscovering of lumbini ~ යුනෙස්කෝ වාර්තාව.



Comments

  1. ඉන්දියාවෙ බුදුන් උපන්න බව කියවෙන ඉන්දියාවෙ පුරාණ සාධක, ජනශ්‍රැති මොනවාද...? ලංකාවෙ ඒවා වත් , ඉංග්‍රිසි පොත්වල සාධක , වෙනත් රටවල සාධක හැර ඉන්දියාවෙ පවතින සාධක..?

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව පුරා විසිරී පවතින පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි ඉමහත් රාශියක් පවතින අතර, බුදු රදුන්ට අදාල සියළු ප්‍රධාන ස්ථාන පුරාවිද්‍යාත්මක ව හඳුනාගෙන අවසන්.
      ඉන්දියාවේ ලිඛිත සාධක ඔබට අවශ්‍ය නම්
      ලෝකේ පළවෙනියෙන්ම ලියවුණු ආශ්වගෝෂ ගේ බුද්දාචරිතය සහ සුන්දරණන්දම් කාව්‍යයන් යුගල, මහවස්තු, දිව්‍යවදනය, අශෝකවදනය වැනි පොත් පත් කියවන්න

      Delete
  2. එම ටැම් ලිපියෙ වචන ඈත් කර ලියා ඇති මුත් එකල එසේ වචන බෙදීමක් සිදු නොකල බව පැවසෙනවා නේද..? එම ටැම් ලිපිය ඊට පෙර එම ස්ථාථානට පැමිණි ඉංග්‍රීසි පුරාවි ද්‍යාඟයන් පවා නොදුටු බව ප්‍රසිද්ධියේ පවසා තිබෙනවා නේද...?

    ReplyDelete
    Replies
    1. මගේ ලිපි මාලාවම කියවන්න. ලිපිය කලින් පැමිණි අයට දකින්න විදියක් නෑ පොළවෙන් යට තිබුණු නිසා. හියුං සැන් හිමියන් එන විටත් එම ලිපිය යටවී තිබූ බව තමයි සාමාන්‍යයෙන් සලකන්නේ.
      අශෝක රජුගේ තවත් ටැම් ලිපි තිබෙනවා වචන ඇත් කරමින් ලියූ. ඒ නිසා මේ තර්කය කිසිසේත් අදාල නෑ

      Delete

Post a Comment

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?