ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය

 ජය ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය.





ගෞතම බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත් ජය ශ්‍රී මහා බෝධිය පිළිබඳ නොයෙකුත් අසත්‍ය අපවාද, මිථ්‍යා මත හා විකෘතීන් බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිස විසින් සමාජ ගත කරන බැවින් ඒ පිළිබඳ නිවැරදි ඉතිහාසය ඉදිරිපත් කිරීම කාලෝචිත බව අදහස් කළ බැවින් මේ සටහන තබමි.


ජය ශ්‍රී මහා බෝධිය, බෝධි චෛත්‍ය, බෝධි ද්‍රැමය යන නම් වලින් හඳුන්වන සිදුහත් බෝසතුන් ට බුදු බව ලබාගැනීමට සෙවන දුන් ඇසතු වෘක්ෂය පාරිභෝගික චෛත්‍යක් වශයෙන් බෞද්ධයන්ට වැදගත් පූජනීය වෘක්ෂයකි.


ශ්‍රී මහා බෝධිය පිළිබඳ පැරණිම වාර්තා වන්නේ ත්‍රිපිටකයේ ඇති සඳහන් ය.


විනය පිටකයේ මහාවග්ග පාලියේ සහ අරියපරියේෂණ සූත්‍ර වල බෝධිය පිළිබඳව සඳහන් වන අතරම මගධ රාජ්‍යයට අයත් උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසල පිහිටි බව මේ සූත්‍ර වල සඳහන් වන්නේය.


ඉන් අනතුරුව අශෝක රජු විසින් කළ ගිරිනාර් සෙල් ලිපියේ (VIII Girinar rock edict) එතුමා ගේ අභිෂේකයෙන් දහවන වර්ෂයේ දී ශ්‍රී මහා බෝධිය වැඳපුදාගත් බව සටහන් කර තිබේ.  

එසේම කල්සී සෙල් ලිපියේ ද (VIII Kalsi rock edict) මේ කරුණම සටහන් කර ඇත.


ඉන් පසුව ක්‍රිව පළවෙනි සියවසේ ආශ්වගෝෂ යන් විසින් රචිත ""බුද්ධ චරිත"" කාව්‍යයේ  දොළොස්වන පරිච්ඡේදයේ 116 වන ගාථාවේ ශ්‍රී මහා බෝධිය පිළිබඳව සඳහන් වෙයි.


ක්‍රිව හතර වන සහ පස්වන සියවස් අතර කාලයේ ඉන්දීය උපමහද්විපයේ සංචාරය කළ ෆාහියන් හිමියන් ගේ A Record of Buddhist Kingdoms නම් වන දේශාටන වාර්තාවේ ශ්‍රී මහා බෝධිය ගැන විස්තර යක් ඉදිරිපත් කර ඇත.

 

බුද්ධගයාව පිළිබඳව විස්තර කරන උන්වහන්සේ එහි ඇති විහාර සහ ස්ථූප ගැන සඳහන් කර අනතුරුව අශෝක රජුගේ බිසව විසින් මහා බෝධි වෘක්ෂය මිනිසුන් ලවා කපා දැමූ බව සඳහන් කරයි.


එසේම ඒ බව දැනගත් අශෝක රජු අතිශයෙන් ශෝකයට පත්ව බෝධි මූලයට කිරි වත් කර නැවත වර්ධනය වීමට සැලැස්වූ බවත්, බෝධියේ ආරක්ෂාව පිණිස ගඩොලින් කළ ප්‍රාකාරයක් ඉදි කළ බවත් සඳහන් කරයි.


එසේම එතැන් පටන් ෆාහියන් හිමියන් වඩින කාලය වනතුරු දිගටම වර්ධනය වූ බෝධිය ඒ වන විට රියන් 100ක් පමණ උසින් යුතු බව පවසා ඇත.


මීළඟට ක්‍රිව හත් වන සියවසේ සංචාරය කළ හියුං සැන් හිමියන්ගේ දේශාටන වාර්තාවේ ශ්‍රී මහා බෝධිය ගැන සඳහන් වේ.


එහිදී උන්වහන්සේ, බුදු රදුන් බුද්ධත්වය ලබන විට අඩි දෙතුන් සියයක් උසින් යුතු වූ බෝධිය කිහිප වරක්ම කපා දැමීම සහ විවිධ හානි මැද වුවද අඩි හතළිහක් හෝ පනහක් පමණ උසට ඇති බව පවසයි.


එසේම ෆාහියන් හිමියන් පැවසූ අශෝක රජුගේ බිසව විසින් බෝධිය කපා දැමීම ගැනද සඳහන් කරන අතරම ඊට පෙර අශෝක රජු බුදු දහම වැළඳ ගැනීමට පෙර බෝධිය කපා දැමූ බවත්, එහිදී එම කපා දැමූ බෝධිය අසලින් තවත් බෝධියක් හට ගත් බවත්, ඒ දැක අශෝක රජු ඒ කෙරෙහි පැහැදුණු බවත්, සඳහන් කරයි.


එසේම හියුං සැන් හිමියන් වැඩම කිරීමට පෙර ක්‍රිව හයවන සියවසේ අවසන් කාලයේ සහ ක්‍රිව හත්වන සියවසේ මුල් දශකයේ රජ කළ සසංක රජු විසින් ශ්‍රී මහා බෝධිය කපා දමා එහි මුල් ද ගලවා දැමූ බවත්, එහි මුල් වල අවසානයක් සොයා ගත නොහැකි වූ තැන ගිනි තබා අනතුරුව සීනි ද්‍රාවණයක් වත් කළ බව උන් වහන්සේ වාර්තා කර ඇත.

පසුව පූර්ණවර්මන් රජු විසින් කිරි වත් කර බෝධිය නැවත වර්ධනය වීමට සැලැස්වූ බවත් සඳහන් කරයි.


එසේම එම රජු බෝධියේ ආරක්ෂාව පිණිස බෝධිය වටා අඩි 24 ක් උසට ගලින් ප්‍රාකාරයක් ඉදි කර බවත් හියුං සැන් හිමි එම ස්ථානයට වඩින විට එම ප්‍රකරයට ඉහළින් අඩි දහයක් පමණ උසට බෝධිය වර්ධනය වී තිබූ බවත් සඳහන් කර ඇත.


දිව්‍යාවදානයේ අශෝකාවදාන කොටසේ ද, අශෝක රජුගේ බිසව වන තිස්සරක්ඛා විසින් බෝධිය විනාශ කිරීම ගැන සඳහන් වන අතර නමුත් එහි ඉහත චීන භික්ෂූන් වහන්සේලා පවසන පරිදි බෝධිය කපා දැමීමක් නොව මන්ත්‍රකාරියක් ලවා හදි හූනියම් කිරීම මගින් බෝධිය විනාශ කිරීමට උත්සාහ කළ බවත් බෝධිය විනාශ වන බව දුටු අශෝක රජු දුක් වන බැවින්, එම හදි හූනියම් ඉවත් කර බෝධිය නැවත යථා තත්වයට පත් කළ බව සඳහන් ය.


මීට සමාන විස්තරයක් ඉදිරිපත් කරන ක්‍රිව හතර වන සියවසේ පමණ ලියවුණු මහාවංසය ද (20 වන පරිච්ඡේදය) තිස්සරක්ඛා බිසව විසින් ශ්‍රී මහා බෝධිය විනාශ කිරීම ගැන පවසන අතර එහිදී විෂ කටු යෙදීම මගින් සිදු කළ බව සඳහන් කරයි. 


මෙසේ එකිනෙකට වෙනස් වන රටවල් කිහිපයක මූලාශ්‍ර මගින් එකම සිදුවීම (මදක් වෙනස් ආකාරයෙන් වුවද ) විස්තර කර ඇති බැවින් අශෝක රජුගේ බිසව විසින් ශ්‍රී මහා බෝධියට හානි කළ බව සත්‍ය බවට තහවුරු කළ හැක.


මී ලඟට ශ්‍රී මහා බෝධිය පිළිබඳ වාර්තා වන්නේ ෆ්‍රැන්සිස් බුකනැන් මහතා විසින් ගයා සහ පැට්නා ප්‍රදේශ වල කළ ගවේශනයේ දිය. 

1811 වර්ෂයේදී කළ මෙම ගවේෂණ වාර්තාවේ ඉතා කදිම නමුත් අවුරුදු 100 ක් පමණ වයස වන බෝධිය ගැන පවසන අතර නටබුන් අතර පිහිටි එය නිසැකවම ඊට කලින් පිහිටි බෝධියකින් හටගන්නට ඇතැයි පවසයි.


මීළඟට 1862 දී ඇලෙක්සැන්ඩර් කනින්හැම් මහතා සිය  වාර්තාවේ 1811 දී දුටු බෝධිය දීරායමින් පවතින බවත් අතු තුනක් සහිත එක කඳක් පමණක් සජීවි ව පවතින බවත් සඳහන් කරයි.


එසේම 1871 දී නැවත දුටු බවත් 1875 වනවිට සම්පූර්ණයෙන්ම දිරාගොස් තිබූ බවත් 1876 දී ඇතිවූ කුණාටුවක් නිසා ඉතිරිව තිබූ දිරාගිය කොටස ද කඩා වැටුණු බව ඔහුගේ බුද්ධගයාව පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.


එසේම එහි මව් ශාකයෙන් හටගත් අංකුර එහි තැන ගැනීමට ඒ වන විටත් වර්ධනය වෙමින් පවතින බවත් සඳහන් කර ඇත.


එසේම 1834 වර්ෂයේ ලංකාවෙන් බුද්ධගයාව වන්දනාමාන කිරීම සඳහා වැඩම කළ බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස මහානාහිමි ඇතුළු පිරිසක් එහි වැඩ සිටි බෝධීන් වහන්සේ ගෙන් ලබාගත් අංකුරයක් ලංකාවේ ගාල්ලේ පරමානන්ද විහාරයේ රෝපිතව අද දක්වා වැඩ සිටියි.


එසේම ක්‍රිපූ තුන්වන සියවසේ ලංකාවට වැඩම කළ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ද අදටත් අනුරාධපුරයේ වැඩ සිටියි.


එසේම ශ්‍රී මහා බෝධිය විනාශ කළ නොහැකි බවත් එය අවුරුදු 5000 ක් කල් පැවතිය යුතු බවත් ඇතැමුන් ප්‍රකාශ කරතත් ඒ වැනි කරුණක් බුද්ධ දේශනාවේ කිසිම තැනක සඳහන් කර නොමැති බැවින් මිථ්‍යා මතයක් මිස සත්‍යයක් නොවන බවද ප්‍රකාශ කළ යුතුය. 


එබැවින් මේ සාධක අනුව බුද්ධගයාවේ අද වැඩ සිටින බෝධීන් වහන්සේ මුල් බෝධීන් වහන්සේ ගෙන් හටගත් අංකුර වලින් ඇති වූ බෝධියක් බව පැහැදිලිවන අතරම එය කනින්හැම් මහතා විසින් රෝපණය කළ එකක් බවට කරන ප්‍රකාශය ද පදනම් විරහිත බව පැහැදිලි වෙයි.


එසේම මෙවැනි විවිධ මූලාශ්‍ර මගින් තහවුරු වන පුරාවිද්‍යා සාධක සාක්ෂි සමග අඛණ්ඩ ඉතිහාසයක් ඇති බුද්ධගයා ශ්‍රී මහා බෝධි ශාඛාව සමග කිසිදු සාධකයක් සාක්ෂියක් මූලාශ්‍රයක් නොමැති හිරිවඩුන්න බෝධිය සසඳා බලන මෙන් ඉල්ලා සිටිමි.


තෙරුවන් සරණයි.


මනෝජ් කුමාර





Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?