යොදුන පිළිබඳ මිථ්‍යාව

 යොදුන සහ ගව්ව.


බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක 22


බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිසට ඇති ලොකුම හිසරදයක් නම් ත්‍රිපිටකය, අටුවා සහ වෙනත් පැරණි මූලාශ්‍ර වල ඇති ස්ථාන අතර දුරවල් ලංකාව සමග කිසිසේත්ම ගැලපිය නොහැකි වීමයි.


යම් තරමකට හෝ එසේ ගලපා පෙන්වීමට නම් යොදුන ඉතා කුඩා දුරක් බව තහවුරු කර පෙන්වීම කළ යුතු විය.


ඒ සඳහා ඔවුන් ඉතා කදිම උදාහරණයක් සමග මනරම් ගණනය කිරීමක් ද සකස් කර ඇත.




ඔවුන් සාධක සාක්ෂි ලෙස පෙන්වන කරුණ හා ගණනය කිරීම විධිමත් ලෙස සලකා බලමු.


ඔවුන් ගෙන එන මතය සරලව ගතහොත්,

"ගැල් සියයක් ගව්ව ලෙස සඳහන් කර ඇති බැවින් ගැලක් අඩි 12 ක් ( මිටර් 4ක්) වන බැවින් ඒ වැනි ගැල් සියයක් ගව්වක ඇතැයි ගෙන ගව්ව මිටර් 400 ක් ලෙස සලකයි.

එමගින් යොදුන යනු ගැල් හතරක් බැවින් යොදුන 1600m හෙවත් 1.6km හෙවත් සැතපුම් එකක් ලෙස ගණනය කර පෙන්වයි".





ගැලක දිග = අඩි 12= මිටර් 4

ගැල් 100 = 4 × 100= 400 මිටර්

ගැල් සියය = මිටර් 400

ගව්ව = මිටර් 400

ගව් හතර = යොදුන

යොදුන = 400 × 4= 1600m = 1.6km

සැතපුම් 1 = 1.6km

එනම් 

යොදුන = සැතපුම් ඒකයි = 1.6km





මේ ඉහත ගණනය සත්‍යයක් වීමට නම් මෙම ගැල් සියය අතර මැදින් ඉඩක් නැතුව ඒක පේලියකට තිබීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වෙයි.


මෙම ගණනයට උදාහරණ ය ලෙස මොවුන් පෙන්වන්නේ උදාන පාලියේ අටුවා වෙන් ගත් කොටසකි.

එය පහත උපුටා දක්වමි.


"'සියලු දිසාවන්හිම මහා වර්ෂා දෙකක් ඇතිවී මහා ගංවතුරක් මෙන් සියලු පාරමී ධර්ම එකම ආත්මභාවයක දක්වන්නෙමුයි එක්වුනාක් මෙන් භාග්‍යවතුන් වහන්සේට ලාභසත්කාර මහා ගංවතුරක් පහළ විය. ඉක්බිති ආහාරපාන වස්ත්‍ර යාන වාහන, මල් ගඳවිලවුන් ආදිය ගත් ඇති ක්‍ෂත්‍රියයෝ ‘බුදුරජාණන් වහන්සේ කොහිද? භාග්‍යවතුන් වහන්සේ කොහිද? දේව දේවයන් වහන්සේ කොහිද? ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයා කොහිද? පුරුෂ සිංහයා කොහිද? යි භාග්‍යවතුන් වහන්සේ සොයති. ගැල් සියයකින් සිවුපසය ගෙනවුත් බුදුන් හමුවීමට ඉඩක් නොලබමින් හාත්පස ගව්වක් පමණ එකට ගැටි සිටිති. සමහරෙක් අනුව යති. ඒ සියල්ල ඛන්‍ධක ග්‍රන්ථයෙහි ඒ ඒ සූත්‍රවල සඳහන් වන පරිදි දතයුතුයි"".





මෙහි සඳහන් වන්නේ කුමක්ද යන්න සිංහල බස දන්නා අයෙකුට ගැටලුවක් නොවන මුත් මෙහි ඇති අර්ථය සම්පූර්ණයෙන් විකෘති කරමින් ඉහත ගව්ව ගණනය කිරීමට යොදාගෙන ඇත.


මෙම අටුවා විස්තරයේ සරල අර්ථය නම් බුදු රදුන් බැහැදැක උන් වහන්සේට පුද පූජා කිරීමට පැමිණෙන පිරිස අති මහත් බැවින් එහි පැමිණි ක්ෂත්‍රියයන්ට ද බුදු රදුන් බැහැදැකීම ට ඉඩක් නොලැබී හාත්පස ගව්වක් පමණ ප්‍රදේශයක ඒකට ගැටී සිටිමට සිදුවූ බවයි. පැමිණි ජනකාය එතරම් විශාල බවයි.


බුදු රදුන් ලංකාවේ බව පවසන කණ්ඩායමේ ගව්ව පිළිබඳ ගණනය නිවැරදි වීමට නම් මෙම සිව් පසය ගෙන ආ ගැල් ගව්වක් දුරට ඒක පෙලකට එකට ගැටී තිබීම අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. 


එසේ නැතිනම් මේ සම්පූර්ණ ගණනය ම වැරදි උපකල්පනයක් මත කළ අසත්‍යය ගණනයක් වෙයි.


මෙම අටුවා කොටසේ සඳහන් පාඨය අනුව 

" ගැල් සියයකින් සිවුපසය ගෙනවුත් බුදුන් හමුවීමට ඉඩක් නොලබමින් හාත්පස ගව්වක් පමණ එකට ගැටි සිටිති".

එනම් ඒකට ගැටී ගව්වක් පමණ ප්‍රදේශයක හාත්පස විසිරී සිටින්නේ ක්ෂත්‍රීයයන් මිස ගැල් නොවන බව පැහැදිලිව පෙනී යයි.


එසේම ගැල් යනුවෙන් සැලකූ කළ ද හාත්පස තිබුණා මිස ඒක පෙළකට ගව්වක දුරක තිබුන බවක් සඳහන් නොවන බැවින් මේ ගණනය සම්පූර්ණ බොරුවක් බව එහි මූලික හා ප්‍රධාන ම උපකල්පනය බොරුවක් වීමෙන් පැහැදිලි වෙයි.


එනම් "හාත්පස" ලෙස ඇති පැහැදිලි සඳහන නොසලකා ඒක පෙලට යන සාවද්‍ය උපකල්පනය අතින් දමා කළ මේ සම්පූර්ණ ගණනයම බොරුවක් වීමෙන් එහි ප්‍රතිඵලය වන ගව්ව මිටර් 400 ක් වන පිළිතුර ද එමගින් ඉදිරියට ගොස් ප්‍රකාශ කරන යොදුන 1.6km හෙවත් සැතපුම් එකක් යන ප්‍රකාශය ද අසත්‍යයක් බවට පත් වෙයි.


එයට පිළිතුරු ලෙස මේ පිරිස ගෙන එන ළදරු තර්කය නම් ගැල් ගමන් කරන්නේ ඒක පෙලට වන බැවින් නවත්වා ඇත්තේද ඒක පෙලට වන බවයි.


එය ළදරු තර්කයක් වන්නේ අටුවා පාඨයේ පැහැදිලිව "හාත්පස" තිබූ බව පවසන බැවිනි.


කුමක්ද මේ සිදුවන්නේ?? 


ලංකාවට නොගැලපෙන ජම්බුද්වීපය ලංකාවට ගෙන ඒම පිනිස යොදුන ඉතා කුඩා අගයක් බවට තහවුරු කිරීම පිණිස බෞද්ධයන් ඉතා සියුම් ලෙස නොමග යෑවීමකි.


අටුවා පාඨයක් ඉතා සියුම් ව විකෘති කර අසත්‍ය ගණනයක් සඳහා භාවිතා කර බුදු රදුන් ලංකාවේ බව පැවසීමට සෑදූ විකෘති සාක්ෂියක බොරුව මෙයින් හෙළිවෙයි.


එනම්

1. අටුවා පාඨය අනුව ගැල් සියයක් ඒක පෙලට ඒකට ගැටී නවත්වා තිබූ බවක් කිසිසේත් ප්‍රකාශ නොවන බවත්

2. ගණනය කිරීමට මුල්වන ප්‍රධාන උපකල්පනය අසත්‍ය වන බවත්

3. ගව්වක දුර ගැල් සියයක් භාවිතා කර මැනීම මෙම උදාහරණය මගින් කිසිසේත් කළ නොහැකි බවත්

4. එම පදනම මත ගව්, යොදුන් සහ සැතපුම් සම්බන්ද කරන ගණනය අසත්‍ය බවත්

5. එනම් යොදුන = සැතපුම් එකක් යන්න කිසිදු තර්කානුකූල පදනමක් නැති අසත්‍ය රැවටීමක් බවත් 


මැනවින් තහවුරු වෙයි.


ඔවුන් මෙසේ විකෘති කළ අසත්‍ය කරුණුම සාධක ලෙස පෙන්වන්නේ සත්‍ය සැබෑ සාධක නොමැති නිසා නොවෙයිද....


සැබෑ බෞද්ධයන් හට නුවනින් විමසීම පිණිස..


Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?