බෞද්ධ සංකේත

බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව. අංක 06


බෞද්ධ සංකේත...

පසුගිය කාලය පුරාවටම බෞද්ධ සංකේත අවබාවිතා කරමින් ඉතාම වැරදි ආකාරයට අර්ථ දක්වමින් ජෛන සංකේත ලෙස බෞද්ධ සංකේත හංවඩු ගසමින් ඇතැම් පිරිස් වැරදි මතයක් සමාජ ගත කිරීමට උත්සාහ කරන ලදී. එයට පිළිතුරක් ලෙස මේ බෞද්ධ සංකේත පිළිබඳ විග්‍රහය ඉදරිපත් කරමි.


1. චක්‍ර සංකේතය.

බුදු සමයට පෙර ඇත අතීතයේ සිටම ආගමික සංකේතයක් ලෙස භාවිතා කළ චක්‍රය විවිධ ස්වරූප වලින් විවිධ අර්ථ ඉදිරිපත් කිරීමට බුදු දහම තුළ යොදාගෙන ඇත. 

චක්‍රය ප්‍රධාන අර්ථ දෙකකින් බුදු සාමය තුළ බාවිත කර ඇත.


a) චක්‍රය නම් ලාංඡනය - සක්විති රජුගේ චක්‍ර රත්නය, බුදු රදුන්ගේ ශ්‍රී පතුලේ චක්‍ර ලකුණ, රථ රෝදය වැනි රූපාකාර වූ උපකරණයක් හෙවත් ලාංඡනයක් සේ යොදා ගැනීම


b) ධර්ම කරුණු වල සංකේතාර්ථ ලෙස බුදු රදුන් චක්‍රය දේශනා වල යොදා ගැනීමයි. එනම් අටලෝ දහම, සංසාර චක්‍රය, සාධාරණ යහපත් පාලනය, අඥා චක්‍රය හා චතුරාර්ය සත්‍ය වැනි උපමා ලෙසයි.


ඉන්දියාවේ බෞද්ධ කැටයම් වල බුදු රදුන් චක්‍රය අතින් කරකවමින් වැඩ සිටින ආකාරය දක්වා ඇති අතර එය ඉතාම වැදගත් සංකල්පයක් නිරූපණය කරයි. එහිදී චක්‍රය මගින් සමස්ත මානව සංස්කෘතිය නිරූපණය වන අතර එය කරකැවීම මගින් සමස්ත මානව සංහතියට සිදුකළ විප්ලවීය වෙනස සංකේතවත් කරයි. එබඳු විප්ලවීය වෙනසක් මානව සමාජයට සිදු කළ හැක්කේ බුදු වරයෙකුට හා සක්විති රජෙකුට පමණි. මානව සමාජ චක්‍රය කරකැවිය හැක්කේ බුදු වරයෙකුට හා සක්විති රජෙකුට පමණකි. ජෛන මහාවීර බුදුවරයෙකු හෝ සක්විති රජෙකු නොවන බැවින් මානව සමාජ චක්‍රය කරකැවීමට හැකියාවක් නොමැත. එබැවින් ඒ කැටයම් මගින් ජෛන මහාවීර හා චක්‍රය නිරූපණය නොවන බව ඉතා පැහැදිලි කරුණකි. මෙයට හොදම උදාහරණය නම් ගාන්ධාර සම්ප්‍රදායට අයත් බරණැස් නුවර ඉසිපතනාරාමයෙදී පස්වග මහනුන්ට ධම්මචක්ක සුත්‍රය දේශනා කරන ආකරය දක්වන කැටයමයි. 



එසේම බුදු රදුන්වම නිරූපණය කිරීමට ඇතැම් තැන් වල චක්‍ර සංකේතය භාවිතා කර ඇත. සාංචි ස්ථුපය හොදම උදාහරණය වේ. 


 එසේම බුදු පිළිම භාවිතයට පැමිණි පසුත් ආසනය මත චක්‍ර සංකේතය නිරූපණය කර ඇත. බොහෝ විට මෙය දෙපස මුවන් දෙදෙනෙකු නිරූපණය කර ඇත.


එසේම බුදු දහමේ එන පරමාදර්ශී පාලකයා වන චක්‍රවර්තී රජුගේ සප්ත රත්න අතර චක්‍ර රත්නය ප්‍රධාන තැනක් ගනී. එහිදී යුක්තිගරුක හා ධර්මානුකූල පාලනය සංකේතවත් කිරීමට චක්‍රය යොදාගනී. මේ අර්ථය සංකේතවත් කරමින් අශෝක රජුද සිය සංකේතය ලෙස මෙම චක්‍ර සංකේතය භාවිතා කර ඇත. 

එසේම ඉන්දියාවේ සිටි ශ්‍රේෂ්ටතම රජු ලෙස අශෝක රජුගේ ලාංඡනය ඉන්දීය ධජයේ යොදාගනිමින් ඉන්දියාව එතුමාට ගෞරව කර ඇත.


එසේම බුදු රදුන්ගේ පාද ලාංඡනය මත චක්‍රය කැටයම් කර ඇති අවස්ථා බහුලව සටහන් වේ. මෙහිදී චක්‍ර රත්නය මුලදී සමාන්‍ය චක්‍ර රතනය භාවිතා කර ඇති අතර පසු කාලීනව ගරාදි 8 ඇති ධර්ම චක්‍රය ද තවත් විසිතුරු අංග එකතු කර ඇත. 

එසේම පාද ලාංඡනයේ චක්‍රය මෙන්ම අනිකුත් ස්වස්ථික, ත්‍රීරත්න හා පද්ම වැනි අනිත් මඟුල් ලකුණු භාවිතා කර ඇත. මෙයට උදාහරණ සාංචි, මථූරා හා අමරාවතී සම්ප්‍රදායන් වල පාද ලාංඡන දැක්විය හැකිය. 



එසේම ලංකාවේ ජම්බූකොලපට්ටන අසල කදුරුගොඩ විහාරයේ කැණීම් වලින් සොයාගත් පාද ලාංඡනය ද හොඳ උදාහරණයකි. 


එසේම ජෛන චක්‍රයක් ලෙස හංවඩු ගසන ගරාදි 24 ඇති චක්‍රය ජෛන නොවන අතර ඒ ගරාදි 24 මගින් චතුරාර්ය සත්‍ය දේශනාව නිරූපණය වෙයි. ඒ බව ත්‍රිපිටක දේශනා වන ධම්මචක්ක හා සච්චවිබංග සූත්‍ර දේශනා ඇසුරෙන් පැහදිලි කරන රේරුකාණේ චන්දවිමල හිමි ගරාදි 24 න් යුත් ධර්මචක්‍රය නියම ධර්ම චක්‍රය බවත් ගරාදි 8 කින් යුක්ත චක්‍රය අර්ධ ධර්ම චක්‍රයක් බවත් බෝධි පූජා නැමැති උන්වහන්සේගේ පොතේ පැහැදිලි කරයි. 

එසේම ගරාදි 24 න් සංකේතවත් වන චතුරාර්ය සත්‍ය දේශනාව පැහැදිලි කරයි. 



ජෛන ආගමේ චක්‍රය (සිද්ධ චක්‍රය) මේ බෞද්ධ චක්‍ර වලට හාත්පසින්ම වෙනස් වන අතර නෙළුම් මලක හැඩයට භාවිතා කරන අතර එහි හැඩය, අර්ථය හා යොදාගන්නා ආකාරය සම්පූර්ණයෙන් වෙනස් වේ. 



එසේම ජෛන පාද ලාංඡන වල චක්‍රය යොදා නොගනී.


එබැවින් බුදු සමයේ එන චක්‍රය ජෛන චක්‍රය බව පැවසීම පැහැදිලිවම බෞද්ධයන් මුලා කිරීමට ගොතන ලද්දකි. 

ටිබෙට් වැනි රටවල සංසාර චක්‍රය සංකේතවත් කිරීමට වෙනස්ම රූපයක් යොදා ගෙන ඇත. 




2. ත්‍රී රත්න සංකේතය.

මේ මගින් බුද්ධ ධර්ම හා සංඝ යන ත්‍රිවිධ රත්නය සංකේතවත් වෙයි. අලංකාරය පිණිස හා සිරිපතුල් ගල් වල මේ සංකේතය යොදා ඇත. එසේම මෙය භාරතීය හින්දු දෙවිවරුන්ගේ ත්‍රිශූල සංකේතය මගින් විකාශනය වි ඇති බව සැලකේ.



3. පද්ම සංකේතය.

පද්මය හෙවත් නෙළුම් මල බෞද්ධ සංකේත අතර ප්‍රමුඛස්ථානය ගනී. බුදු රදුන් පමණක් නොව අර්හත්වය ලැබූ බුද්ධ ශ්‍රාවකයන් පාවා නෙළුම් මල මගින් සංකේතවත් කර ඇති අතර පවිත්‍රත්වය සංකේතවත් කරමින් බුද්දාධි උතුමන් සංකේතවත් කිරීමට පද්මය යොදාගනී. 

බුදු රදුන් ම තමන් වහන්සේ පද්මයකට උපමා කළ අවස්ථාවක් ත්‍රිපිටකයේ දැක්වෙයි.

" මහණෙනි, නිල්, රතු හෝ සුදු නෙළුම ජලයෙහි හටගෙන ජලයෙහිම වැඩි ජලයෙන් උඩට මතුවී ජලයෙහි නො ඇලි සිටි. එසේම මහණෙනි, තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපත ලබා ලොවෙහි ම වැඩි ලොවෙහි නො ඇලි ලෝකය ඉක්මවා සිටින සේක"

එමෙන්ම නෙළුම් මල මඩ ගොහොරුවක හටගෙන එහි නො ඇලි පිරිසිදුව සුවදවත්ව පවතින අයුරින් බුද්ධ ශ්‍රාවකයා ද කෙලෙස් පිරි ලෝකයේ එහි නො ඇලි සිය ප්‍රඥාව නිසා බැබළෙන්නේය යන අර්ථයෙන් බෞද්ධ සංකේතයක් ලෙස යොදාගනී.

එසේම බුද්ධ ප්‍රතිමා බිහි වීමට ප්‍රථම බුදු රදුන් සංකේතවත් කිරීමට පද්මය යොදාගෙන ඇත. සාංචි සහ භාරුත් ස්ථූපවල කැටයම් වල බුදු රදුන් වෙනුවට පද්මය යොදා ඇත.

එසේම බුදු පිළිම භාවිතය ඇරඹීමත් සමග පද්මය වැඩසිටින අාසනය බවට පරිවර්තනය විය. 




මේවාට අමතරව ස්වස්තිකය, බෝ ගස, ධර්මාසනය, ජත්‍රය වැනි සංකේත රාශියක් බෞද්ධ කලාකරුවන් යොදාගෙන ඇත. 

මේවා අතරින් වැඩිම විකෘති මත පලකර ඇත්තේ චක්‍රය ගැනයි.

බෞද්ධ සංකේත විකෘතියකින් තොරව හැදුනා ගැනීමට මේ කරුණු ඉවහල් වේවායි පතමි.

ස්තුතියි...


මූලාශ්‍ර.

1) ත්‍රිපිටකය

2) බුදු පිළිම මුද්‍රා සහ ආසන - (පි 54- 70) පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමි.

3) බෝධි පූජා - පූජ්‍ය රේරුකාණේ චන්දවිමල හිමි

4) මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ෆේස්බුක් පිටුව. 

https://m.facebook.com/story.php?story_fbid=371724396668733&id=262469984260842

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?