සැවැත් නුවර හා රිටිගල මිත්‍යාව.

 බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව. අංක 05


බුදු රදුන් වැඩ සිටි දඹදිව කෝසල ජනපදයට අයත් සැවැත් නුවර (නූතන ඉන්දියාවේ ශ්‍රාවස්ති) පිහිටි ජේතවනාරාමය ලංකාවේ රිටිගල බව පවසන මොවුන් එය තහවුරු කිරීමට විකෘති කළ සාක්ෂි ඉදිරිපත් කරයි. 



කුමක්ද ඔවුන් පවසන්නේ.


1. රිටිගල සෙල් ලිපි වල බඹදත් හා සෝණ යන නම් සඳහන් කර ඇත.


2. සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ ඛන්ධවග්ගයෙහි, ඛන්ධසංයුත්තයෙහි සෝණ සූත්‍රයේ සෝණ නම් ගෘහපතියා බුදු රදුන් හමුවේ ධර්මය ශ්‍රවණය කළ බව සඳහන් වේ. 



මේ කරුණු දෙක එකට සම්බන්ධ කරන මොවුන් රිටිගල යනු බුදු රදුන් වැඩ සිටි ජේතවනාරාමය බැව් පවසයි.


දැන් අපි මේ කරුණු එකින් එක විමසා බලමු.


1.) රිටිගල සෙල් ලිපි අතරින් අංක ඒක ලෙන් ලිපිය හා අංක දෙක ගිරි ලිපිය ලෙස හඳුන්වන ලිපියේ "මහමත බඹදත පුත" ලෙස සටහන් වන අතර එහි තේරුම "මහාමාත්‍ය බඹදත් ගේ පුත්‍ර" යන්නයි. 



2. බ්‍රහ්මදත්ත රජු මිස එනමින් බුද්ධ කාලයේ විසූ මහාමාත්‍ය කෙනෙකුන් ගැන සඳහනක් ත්‍රිපිටකය හෝ බෞද්ධ සාහිත්‍යය සඳහන් නොකරන අතර එබැවින් මේ මහාමාත්‍ය බඹදත් යන්න ත්‍රිපිටකයේ හා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් බඹදත් රජු නොවන බව තහවුරු වේ.


3. සෝන ලෙස සඳහන් සෙල් ලිපි ගැන සලකා බැලීමේදී එම නම සඳහන් සෙල් ලිපි දෙකක් ඇති අතර

පරුමක ශෝනහ ලෙණෙ ( ප්‍රමුඛ හෙවත් ප්‍රාදේශීය පාලක සෝනගේ ලෙන) හා

භතු ශෝනශ ලෙණෙ ( ස්වාමි සෝනගේ ලෙන) ලෙස සඳහන් වෙයි.



4. මොවුන් නොසලකා හරින වැදගත්ම දෙය නම් මේ සෝන එක් පුද්ගලයෙක් නොවන බවයි. ත්‍රිපිටකයේ සඳහන් වන්නේ ගෘහපති සෝන වන අතර මේ සෙල් ලිපි වල සඳහන් වන්නේ ප්‍රාදේශීය පාලක( ප්‍රමුඛ/ පරුමක) සෝන නම් අයෙක් හා ස්වාමි සෝන නම් අයෙක් වන බවයි. එනම් වෙනත්ම පුද්ගලයින් තුන් දෙනෙකු වන බවයි.


5. එසේම අනුරාධපුරය අසල වෙස්සගිරියේ සෙල් ලිපිවල තවත් සෝන කෙනෙක් හමුවන අතර ඔහු අනිකට ශෝණ හෙවත් අංගරක්ෂක සෝන ලෙස තවත් පුද්ගලයෙකි. 


එබැවින් මේ කරුණු වලින් ගත හැකි නිගමනය නම් සෝන නම අතීතයේ බහුලව භාවිතා වූ නමක් වන බවයි.


6. එසේම මෙම රිටිගල සෙල් ලිපි ක්‍රිපූ 2 - 1 සියවස් වලට අයත් බවට කාල නිර්ණය කර ඇත. එනම් මේ සෙල් ලිපි බුද්ධ කාලයට සියවස් ගණනාවක් පසුව කරවූ ඒවා බව තහවුරු වේ. 



7. එබැවින් බුද්ධ කාලයට ශතවර්ෂ ගණනාවකට පසු ජීවත් වු පරුමක සෝන හෝ ස්වාමි සෝන ත්‍රිපිටකයේ සඳහන් බුදු රදුන් ගෙන් ධර්මය ශ්‍රවණය කළ ගෘහපති සෝන නොවන බව සාක්ෂි සහිතව සනාථ වෙයි.


8. එසේම මෙම සෙල් ලිපිවල අරිට මහ ගම හා අරිට්ඨ විහාර වාසී ලෙස සඳහන් සෙල් ලිපි ඇති බැවින් මහාවංශයේ සඳහන් අරිට්ඨ ග්‍රාම හා අරිට්ඨ පබ්බත යනු මේ රිටිගල බව පුරාවිද්‍යාඥ යන් තහවුරු කරයි. එමෙන්ම රිටි ගල යන්න එම අරිට්ඨ පබ්බත පදයෙන් බිඳි ආ බව කොත්මලේ අමරවංශ හිමි සිය සෙල් ලිපි පිළිබඳ පොතේ සඳහන් කරයි. (පිටු අංක 113)


9. එසේම පණ්ඩුකාභය කුමරු මෙ රිටිගල සත් වසක් නැවතී කඳවුරු බැඳ සිටි බවත්, දුටු ගැමුණු රජුගේ සෙනේවියෙකු වූ රිටිගල ජයසේන නම් යක්ෂ ගෝත්‍රික නායකයා මෙහි අධිපතිව සිටි බව මහා වංශයයත් ලජ්ජීතිස්ස, උදය, සූරතිස්ස හා පළවෙනි සේන යන රජවරු මෙහි විහාර ආරාම ඉදි කළ බවට සෙල් ලිපි හා වංශ කථාවලත් සඳහන්ය.


10. එසේම සෙල් ලිපි හෝ වංශ කතාවල කිසිම තැනක මේ සැවැත් නුවර ජේතවනාරාමය බවට කිසිම සලකුණක් සඳහනක් නොමැත. 


11. මේ සියලු කරුණු අනුව පෙනීයන්නේ රිටිගල යන්න සැවැත් නුවර ජේතවනාරාමය ලෙස තහවුරු කිරීමට මොවුන් ඉදිරිපත් කරන මේ සාක්ෂි කිසිදු පදනමකින් තොර හිතළු කතා වන බවයි.


12. එසේම අපේ හෙළ රජවරුන් වාසය කළ යක්ෂ ගෝත්‍රික සේනාධිපතිවරු වාසය කළ රිටිගල එම හෙළ බෞද්ධ ඉතිහාසය විකෘති කර බොරුවෙන් යටපත් කර ඉන්දීය ජනපදයක් කරමුද???


තීරණය හෙළ බෞද්ධ ඔබට බාරයි..


මූලාශ්‍ර.

1.  ත්‍රිපිටකය

2. ලක්දිව සෙල් ලිපි - කොත්මලේ අමරවංශ හිමි.

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

ෆාහියන් හිමියන් තරණය කල කාන්තාරය යනු මහවැලි ගඟ ද

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්