ඉන්දසාල ගුහාව පිළිබඳ මිත්‍යාව

 බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව අංක - 03


ඉන්දසාල ගුහාව.


බුදු රදුන් ලංකාවේ බව පැවසීමට මේ පිරිස ඉදිරිපත් කරන ප්‍රබල සාක්ෂියක් ලෙස සලකන්නේ ලංකාවේ බඹරගල පිහිටි ගල් ගුහාවක ඉන්දසාල ගුහා නමින් සෙල් ලිපි සඳහනක් තිබීමයි.

ඒ සඳහා

1. බඹරගල ඉන්දසාල ගුහා නම් සෙල් ලිපි සටහන.


2. ප්‍රාචීන නම් රජු පිළිබඳ යැයි කියන සෙල් ලිපි සටහන්.


3. සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහාවග්ගයෙහි සක්කපඤ්හ ත්‍රිපිටක සූත්‍ර දේශනාව.


මෙන්න මේ කරුණු තුන විකෘති කර ඒකට ගැට ගසා බුදු රදුන් සූත්‍ර දේශනා කළ ඉන්දසාල ගුහාව මෙය බව පෙන්වීමට මොවුන් උත්සාහ කරයි. 



කුමක්ද මොවුන් කරන විකෘතිය??


1. ඉන්දසාල ගුහා යන නම සටහන් කළ ගුහාවක් මෙහි ඇති බව සත්‍යයකි. ( මෙය ලංකාවේ ඇති තවත් ඉන්දසාල නම් ලද ගුහා කිහිපය අතරින් එකකී). මෙම සෙල් ලිපිය දකුණේ සිට වමට කියවිය යුතු සෙල් ලිපියක් වීම විශේෂත්වයකි. 


2. පොචනි නම් රජු ගැන සඳහන් සෙල් ලිපිද එහි ඇති බව සත්‍යයකි.


3. පොචනි රජු හා ඉන්දසාල ගුහාව අතර සම්බන්ධය කුමක්ද?? විකෘතිය පටන් ගන්නේ මෙතැන් සිටය.


සක්කපඤ්හ සූත්‍රය ඔවුන් විකෘති කර භාවිතා කරන්නේ මේ ඉන්දසාල ගුහාවේ බුදු රදුන් වැඩ සිට සූත්‍ර දේශනා කළ බව හුවා දැක් වීමටයි.

දැන් අපි බලමු සක්කපඤ්හ සූත්‍රයේ සඳහන් වන්නේ කුමක්ද යන වග. 


"එවං මෙ සුතං - එකං සමයං භගවා මගධෙසු විහරති, පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං."



මෙලෙස ආරම්භ වන සූත්‍ර දේශනාවේ "පාචීනතො රාජගහස්ස" යන වචන දෙක සම්පූර්ණ විකෘති ලෙස හුවා දක්වමින් එනමින් හඳුන්වන්නේ "ප්‍රාචීන රජගේ මාළිගය" යැයි පවසයි.

පාළි වචනාර්ථ සම්පූර්ණයෙන් විකෘති කරමින් ඔවුන් මේ ලෙස පවසයි.


පචිනතො යනු නැගෙනහිර දිශාවෙන් යන තේරුම වන අතර රජගහ නුවරට නැගෙනහිර දෙසින් යන තේරුම මෙහි අර්ථයයි.

එම සම්පූර්ණ වාක්‍ය කණ්ඩයේම තේරුම් මේ පරිදි වෙයි.


"මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කළෝය." 



රජගහ නුවරට නැගෙනහිර දිශාවෙන් යන්න ප්‍රාචීන රජුගේ මාළිගය ලෙස විකෘති කර මේ ඉන්දසාල ගුහාව ගැන සූත්‍රයේ සඳහන් බව තහවුරු කිරීමට සැරසෙති..


නමුත් ඔවුන් කියන ලෙස පාචිනතෝ රාජගහස්ස යන්න ප්‍රාචීන රජුගේ මාළිගය ලෙස ගතහොත් එම සූත්‍ර පාඨයේ අර්ථය මේ පරිදි වෙයි.


"මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි ප්‍රාචීන රජ මාලිගයෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත." 


මෙවිට සූත්‍ර පාඨය කොතරම් විකෘති වන්නේද යත් ප්‍රාචීන රජ මාළිගය තුළ පිහිටි අම්බසන්ඩ බ්‍රාහ්මණ ගම ලෙස වෙයි. 


රජ මාළිගයක් තුළ බ්‍රාහ්මණ ගමක් පිහිටන්නේ කෙසේද කියා මේ උගත් මහත්වරු කිසි කලෙක පැහැදිලි නොකරන අතර ප්‍රාචීන රජුගේ මාළිගය යන්න පමණක් හුවා දක්වයි.


මෙම අර්ථ පැහැදිලි ලෙස බුද්ධ ජයන්ති ත්‍රිපිටකය තුළ ඇති අතර එම පරිවර්තන සිදු කර ඇත්තේ බුදු දහම බෞද්ධ ඉතිහාසය හා පාළි භාෂාවන් පිළිබඳ හසල දැනුමක් ඇති කමිටුවක් මගින් වන අතර මේ වන විට ඇති ත්‍රිපිටක පිටපත් සියල්ල සමග සසඳා බලා එම පරිවර්ථන සිදුකර ඇත.


https://pitaka.lk/main?n=16170


4. මෙම සූත්‍රය තුළ කිසිම තැනක ප්‍රාචීන රජෙකු ගැන කිසිදු සඳහනක් නැත.


5. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කළ ගවේෂණය මගින් මේ සෙල් ලිපි හා ගුහා ක්‍රිපූ 1 වන සියවස හා ක්‍රිව 2 සියවස අතර කාලයට අයත් බව තහවුරු කර ඇත. 


එබැවින් මේ පොචින රජු කවරෙකු වුවත් බුද්ධ කාලයට ශතවර්ෂ ගණනාවකට පසු සිටි අයෙක් වන අතර ත්‍රිපිටකයේ සඳහන් වීමට කිසිදු ආකාරයක ඉඩක් නැත.


6. එසේම සූත්‍රයේ සඳහන් බ්‍රාහ්මණ ගම අම්බසන්ඩ වන අතර මෙම මිත්‍යාව තහවුරු කිරීමට මොවුන් බඹරගල අසල ඇඹුල් අඹෙ ලෙස හදුන්වන ග්‍රාම නාමයක් උපුටා දක්වයි. 

නමුත් අම්බසන්ඩ යන්නෙහි තේරුම අඹ වනය යන්න වන අතර අඹ වනය යන්න ඇඹුල් අඹයක් වූයේ කෙසේදැයි පහදා නොදෙයි.


7. එසේම මෙම ඉන්දසාල ගුහාව මගධ දේශයේ ඇති බව ත්‍රිපිටකයේ පැහැදිලිව සඳහන් වන අතර, බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිසට අනුව බඹරගල ඇත්තේ බුදු රදුන් ඉපදුන ලුම්බිණිය යි. ඉතින් ලුම්බිණියේ කොහෙද ඉන්දසාල ගුහාව?? 


එසේනම් ත්‍රිපිටකය වැරදිද?? නැතිනම්  ඔවුන්ගේ ලුම්බිණිය හා මගධය වැරදිද??


8. ඉන්දියාවේ( අතීත දඹදිව ) අතීත මගධ රාජධානියට අයත් රජගහ ( නූතන රාජ්ගිර්) නුවර ආසන්නයේ ගිජ්ජකූට පර්වතය පිහිටි කඳුවැටියේ ම වෙනත් පසෙක පිහිටි ඉන්දසාල ගුහාව ලෙස සැක කල හැකි ගුහා දෙකක් හඳුනාගෙන ඇති අතර එම ගුහා දෙකෙන් නිවැරදි ගුහාව කුමක්ද යන්න ඉන්දීය පුරා විද්‍යා අංශ තහවුරු කර නැත. 



මෙම ගුහාව පිළිබඳව චීන සංචාරක භික්ෂූන් වන ෆාහියන් හිමි සඳහන් කරන අතර වඩාත් දීර්ඝ විස්තරයක් සපයන හියුං සැන් හිමි ගේ වාර්තාව අනුව ඉන්දසාල ගුහාව මෙහි පිහිටා ඇති බව වඩාත් තහවුරු වේ. 

එහි සඳහන් ආකාරයට ගුහාව පිහිටි කන්ද මුදුනේ චෛත්‍යක් පිහිටා ඇති අතර එහි නම හංස චෛත්‍ය නම් වේ. 

දැනට ඉන්දියාවෙන් සොයාගෙන ඇති වඩාත්ම අංගසම්පූර්ණ චෛත්‍ය මෙය වන අතර එබැවින් ඉන්දසාල ගුහාව පිහිටි ස්ථානය තවත් තහවුරු වී ඇත.


9. මීට අමතරව බුදු රදුන් ඉන්දසාල ගුහාවේ වැඩ සිට සක් දෙවිදුන්ට ධර්ම දේශනා කරන ආකාරය කැටයම් ඉන්දියාවේ ස්ථාන කිහිපයකින්ම හමුවන අතර පැරණිතම කැටයම මහාබෝධි විහාරයේ ක්‍රිපූ 150 ට පමණ අයත් වන ගල් කැටයමකී. 




10. තවත් මොවුන් සඟවන හා කථා නොකරන වැදගත් කරුණක් නම් මේ ගුහාවේ නමයි. ඉන්දසාල යනු විශාල සල් ගස යන අර්ථයයි. 

දීඝ නිකායේ අටුවාවේ මේ බව සඳහන් වන අතර ගුහාවට ඉන්දසාල නම ලැබුනේ ගුහාව ඉදිරිපිට තිබූ සල් ගස නිසා බව පවසයි. 

මෙම සල් ගස (ලංකාවේ සල් යනුවෙන් හඳුන්වන canon ball ගස නොවේ) ලංකාවේ හමු නොවන ශාකයක් වන අතර ඉන්දියාවේ දක්නට ඇත. 

එබැවින් මේ ඉන්දසාල ගුහා යනුවෙන් හඳුන්වන ලංකාවේ පිහිටි ගුහා ත්‍රිපිටකයේ සඳහන් වන ඉන්දසාල ගුහාව අනුකරණය කර නම් තැබූ බව පැහැදිලිය.


මේ අනුව බඹරගල පිහිටි ඉන්දසාල ගුහාව කිසි ලෙසකින්වත් බුදු රදුන් වැඩ සිටි ඉන්දසාල ගුහාව නොවන අතර ඒ බව ව්‍යාජ ලෙස තහවුරු කිරීමට ත්‍රිපිටකය විකෘති කර ගත් උත්සාහය මේ කරුණු මගින් තහවුරු වන අතර ප්‍රාචීන රජු හා සක්කපාඤ්හ සූත්‍රය අතර සබැඳියාවක් නොමැති බවත් එය මිත්‍යාවක් බවත් බෞද්ධයන් මූලාකර රැවටීමට කළ විකෘතියක් බවත් මෙයින් හෙළිදරව් කරමි.


මෙවන් විකෘති කර බුදු දහම විනාශ කිරීමට ගන්න NGO උත්සාහයන් පරාජය කිරීමට සියලු බෞද්ධයන් එකතු විය යුතු කාලයයි මේ...


තෙරුවන් සරණයි..

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

ෆාහියන් හිමියන් තරණය කල කාන්තාරය යනු මහවැලි ගඟ ද

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්