ශ්‍රී මහා බෝධිය සහ බුද්ධ ශක්ති මිත්‍යාව

බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව. අංක 09

මේ ඉතිහාස විකෘතිකයන් ගෙන එන ශ්‍රී මහා බෝධිය පිළිබඳ මතය සලකා බලමු.
ඒ පිළිබඳව ඔවුන් කරුණු තුනක් මතු කර දක්වයි.

1. ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටි බෝධිය අශෝක රජුගේ බිසවක් විසින් විනාශ කළ බවත්, එම බෝධිය සත්‍ය ශ්‍රී මහා බෝධිය නම් එසේ විනාශ කළ නොහැකි බවත් වසර 5000 ක් කල් දක්වා ශ්‍රී මහා බෝධිය පැවතිය යුතු බවයි.

2. ශ්‍රී මහා බෝධිය පිහිටි ස්ථානය ඊනියා බුද්ධ ශක්ති රේඛාවක ඇති බවත් එහි ඇති ඊනියා බුද්ධ ශක්තිය නම් ශක්තියක් හා අඩු ගුරුත්වය බුදු බව ලබා ගැනීමට අවශ්‍ය බවයි.

3. බෞද්ධයන් මගඵල ලබාගත යුතු නම් මෙම ශ්‍රී මහා බෝධිය ඇතුළු ස්ථාන හතර වැඳිය යුතු බවත් ඒවයෙ ඇති බුද්ධ ශක්තිය මගින් මාර්ග ඵලයට යොමු කෙරෙන බවත්ය.

ශ්‍රී මහා බෝධිය පිළිබඳව ත්‍රිපිටක දේශනාවේ ඇති කරුණු ඇසුරින් මේ ගැන විග්‍රහ කර බලමු.

1. අරියපරීයේසන සූත්‍රය.
බුදු රදුන් ගිහි ගෙයින් නික්මී ගොස් සත්‍ය සොයා ගවේෂණය කළ ආකාරය සහ බුදු බව ලබාගත් ආකාරය සිය ශ්‍රාවකයින්ට විස්තර වශයෙන් කිම මෙම සූත්‍රයේ අඩංගුය.
මෙහිදී විවිධ ආචාර්යවරුන් හමුවී සත්‍ය ධර්මය සොයා ගිය අයුරු දේශනා කරන අතර පසුව උරුවෙල් දනව්වේ සේනානි නියම් ගම අසල බුදු බව ලබාගත් ආකාරය විස්තර කරයි.
නමුත් ඒ අවස්ථාවේ ශ්‍රී මහා බෝධිය ගැන උන් වහන්සේ සඳහන් නොකරයි.
එම සූත්‍රයේ බෝධිය ගැන ඇති එකම සඳහන නම් ගයාවට හා බෝධිය අතරදී උපක නම් අජිවක හමුව සිදුවුන බව පැවසීම පමණයි.

එම ස්ථානයේ හෝ බෝධියේ ඇති බුදු බව ලැබීමට ඉවහල් වන ශක්තියක් ඇත්නම් උන් වහන්සේ ඒ බව දේශනා නොකරයිද?

එසේම මේ විකෘතිකයන් පවසන ආකාරයේ මග ඵල ලැබීමට අදාල බුද්ධ ශක්ති හෝ අඩු ගුරුත්ව කලාප තිබුණේ නම් උන්වහන්සේ ඒ බව දේශනා නොකරන සේක්ද??

බුදු රදුන් බෝධිය ගැන විශේෂ සඳහනක් නොකළේ එහි එවැනි බලයක් හෝ ශක්තියක් නොමැති නිසා නොවේද...

2. විනය පිටකය, මහාවග්ගපාලිය

ත්‍රිපිටකයේ මේ කොටසේ බුදු රදුන් බුද්ධත්වය ලබා ගත් පසු බුද්ධගයාවේ වැඩ සිටි කාලය ගැන විස්තර ඇති අතර එම කොටසේද ශ්‍රී මහා බෝධිය පිළිබඳව කිසිදු විශේෂ සඳහනක් නොකරයි.
එහි ඇති බුද්ධත්වය ලබා ගැනීමට උපකාරී වන ශක්තියක් හෝ මගඵල ලබාගැනීමට හේතු වන ශක්තියක් ගැන කිසිදු සදහනක් ත්‍රිපිටකයේ ඒ කොටසේද නැත.

3. මහා පරිනිර්වාණ සුත්‍රය.

මහා පරිනිර්වාණ සුත්‍රයේ ශ්‍රී මහා බෝධිය පිහිටි ස්ථානය ගැන සඳහන් වන අතර එහි සඳහන් ආකාරයට ආනන්ද හිමියන් බුදුරදුන් පිරිනිවන් පෑ පසු බුදු රදුන් දැකීම පිණිස සිව් දිගින් පැමිණෙන මෛත්‍රී වඩන සංගයා වහන්සේලා නොපැමිණි විට ඔවුන් දැක බලා ඇසුරු කිරීමට නොලැබෙන බව පවසයි.
එයට පිළිතුරක් ලෙස බුදු රදුන් මෙසේ දේශනා කරයි.

"ආනන්දය, ශ්‍රද්ධාවන්ත පුද්ගලයාහට දැකීමට සුදුසුවූ දැකීමෙන් සංවේගය උපදවන්නාවූ ස්ථාන සතරක් වෙත්. ඒ ස්ථාන සතර නම් කවරහුද? ආනන්දය, ‘මෙහි තථාගත තෙම උපන්නේයයි’ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ මේ ස්ථානය වන්නේය. ‘මෙහි තථාගත තෙම අනුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළේයයි ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි ආනන්දය මෙහි තථාගත තෙම ඉතා උතුම්වූ ධර්ම චක්‍රය පැවැත්වූයේයැයි ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි. ආනන්දය, මෙහි තථාගත තෙම අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළේයයි’ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි. ආනන්දය, ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ මේ සතර ස්ථාන නම් වන්නාහුය. ආනන්දය, මෙහි තථාගතතෙම ලොව උපන්නේයයි කියාද, මෙහි තථාගත තෙම ඉතා උතුම්වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේයයි කියාද, මෙහි තථාගතයන් විසින් ඉතා උතුම්වූ ධර්ම චක්‍රය පවත්වන ලද්දේයයි කියාද, මෙහි තථාගත තෙම අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේයයි කියාද, ශ්‍රද්ධාවන්ත භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ පැමිණෙන්නාහුය. ආනන්දය, බෝධි චෛත්‍යාදිය වඳිමින් චෛත්‍යයන් වෙත ගමන් කරමින් ඇවිදින්නාවූ යම්කිසි කෙනෙක් පැහැදි සිතින් කාලක්‍රියා කරන්නාහු වෙද්ද ඔහු සියල්ලෝම ශරීර භෙදයෙන් මරණින් පසු සැපයෙන් යුත් දිව්‍යලෝකයෙහි උපදින්නාහුයයි”
පවසා ඇත.

මීට අමතරව පරිනිර්වාණ සුත්‍රයේ මේ ස්ථාන ගැන කිසිත් විශේෂ සඳහනක් නොකරයි.
එසේම සිව්වනක් පිරිසට මෙම ස්ථාන දැක බලාගැනීමට සුදුසු බවත් බෝධි චෛත්‍ය ආදිය වැඳ පුදගෙන සිත පහදවා ගැනීම සුදුසු බවත් දේශනා කර ඇති බව පැහැදිලිය.
ඒවන් පැහැදී සිතින් කෙනෙක් මිය යන්නේ නම් දිව්‍ය ලෝකයෙහි උපදින බවත් දේශනා කරයි. වෙන කිසිදු ශක්තියක් හෝ මාර්ගඵල ලබාගැනීමට අවැසි ශක්තියක් මෙම ස්ථාන වල ඇති බව දේශනා කර නැත.

4. මහා සච්චක සූත්‍රය.
මෙම සූත්‍රයේද බුදු රදුන් ගිහි ගෙයින් නික්මිමේ සිට බුද්ධත්වය ලබා ගන්නා තුරු විස්තර කර ඇත. බුදු බව ලබාගැනීම ගැන ඉතා පැහැදිලි විස්තරයක් මෙහි දේශනා කර ඇති අතර ධ්‍යාන හා ඥාන පිළිබඳව සවිස්තරව දක්වා ඇත.

නමුත් මේ සූත්‍රයේ ද බෝධිය ගැන කිසිදු සඳහනක් නැත. බුදු බව ලබා ගැනීමට ඉවහල් උන බුද්ධ ශක්ති රේඛාවක් හෝ බෝධියේ ඇති විශේෂ බලයක් ගැන කිසිදු සඳහනක් නැත.

එබැවින් මෙම ත්‍රිපිටකයේ සඳහන් කරුණු අනුව පහත කරනු නිගමනය කළ හැක.

1. ශ්‍රී මහා බෝධිය පූජනීය වෘක්ෂයක් බවත් එය බුදු රදුන්ගේ පාරිභෝගික වස්තුවක් බවත් වශයෙන් පුද පූජා කළ යුතුයි. එම කරුන අනුව අතීතයේ රජ කළ පටන් මේ දක්වා ඉන්දියාවේ බුද්ධගයාවේ බෝධිය හා අනුරාධපුර ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව ට වැදුම් පිදුම් කර සිත පහදවා ගැනීම බෞද්ධයන් සිදු කරයි.

2. අනිත්‍ය දහමක් වන බුදු දහම තුළ නිත්‍ය වන කිසිවක් නොතිබිය හැකි අතර එබැවින් ශ්‍රී මහා බෝධිය ද අනිත්‍ය දහමට යටත්ය. බුදු රදුන් පාවා අනිත්‍ය දහමට යටත් වන කළ බුදු බව ලැබීමට පිටදුන් බෝධිය අනිත්‍ය නොවේ යැයි පැවසීම විහිළුවකි.

3. ශ්‍රී මහා බෝධිය අනිත්‍ය දහමට යටත් නොවන බව බුදු රදුන් දේශනා කර නොමැති අතර විනාශ නොකළ හැකි බවක් හෝ තවත් එවැනි විස්තර ද දේශනා කර නැත.

4. එබැවින් අශෝක රජුගේ බිසවට ශ්‍රී මහා බෝධිය විනාශ කළ නොහැකියි යන්න කිසිදු පදනමක් නැති තර්කයක් බවට පත් වේ.

5. එසේම බුදු බව ලබා ගැනීමට ඉවහල් වන ශක්තියක් හෝ මගඵල ලබාගැනීමට ඉවහල් වන ශක්තියක් මෙහි ඇති බව ත්‍රිපිටක දේශනා තුළ දේශනා කර නැත.

6. සැදැහැවත් කුල පුත්‍රයන් හට දැක බලාගැනීමට සුදුසු බව මිසක එය අනිවාර්ය කර හෝ මගඵල ලබාගැනීමට අවශ්‍ය බව දේශනා කර නැත.

7. එබැවින් ශ්‍රී මහා බෝධිය වැඳීම මගඵල ලබාගැනීමට අවශ්‍ය නොවන අතර වැඳ පූදාගෙන සිත පහදවා ගෙන, එම පහදවා ගත් සිතින් මියාගියෝත් පමණක්( චූති සිත වෙනත් දෙයක් අරමුණු කර ඇත්නම් එයත් නැත) දිව්‍ය ලෝක සම්පත් ලබා ගත හැක.

8. ලිපිය ආරම්භයේ සඳහන් කළ මොවුන්ගේ විකෘති හෙළි වන නිසා මොවුන් සුද්දා ත්‍රිපිටකය විකෘති කර ඇති බවත් පාලි හා බුදු දහම පිළිබඳ විශේෂඥ මණ්ඩලයක් විසින් කළ පරිවර්තන වැරදි බවත් පවසයි.

9. එමෙන්ම සංවිධානාත්මක පුද්ගලයින් විසින් මෙම විකෘති කරුණු ත්‍රිපිටකය තුළ ඇති බව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් සිටියි.

10. එසේම ත්‍රිපිටකය අර්ථ වැටහෙන්නේ සිව්පිළිසිඹියපත් අරහතුන් වහන්සේ කෙනෙකුට පමණක් බව පවසන්නේ ද මොවුන්ගේ මෙම බොරු විකෘති වලට සත්‍ය දන්නා අය අභියෝග කිරීම වැලක්වීමට ය.

11. එසේම ශ්‍රී මහා බෝධිය වැනි පූජනීය ස්ථාන පිළිබඳ විකෘති කරුණු සමාජ ගත කර ඔවුන්ගේ ව්‍යාජ හිරිවඩුන්න බෝධිය විදහා දක්වමින් මොවුන් උත්සාහ කරන්නේ ත්‍රිපිටකය ද විකෘති කර ඔවුන්ගේ ධර්ම විකෘතිය සාධාරණීකරණය කරගැනීම හා එමගින් බෞද්ධයන් බුදු දහම හා ත්‍රිපිටකය පිළිබඳ ඇති විස්වාසය බිඳ දැමීමට ය.

12. ඒ මගින් මේ රටේ හා අනිකුත් බෞද්ධ රටවල සංස්කෘතිය බිඳ දැමීම මොවුන්ගේ යටි අරමුණ බව පැහැදිලිය.

විකෘතිය ට මූලා නොවූ සැබෑ හෙළ බෞද්ධයන් හට නුවනින් විමසීම පිණිසයි.....

Comments

  1. මෙහි විස්තරය අනුව සංවෙගයකට පත්වීම අකුසල් ඇතිකරන අතර දිව්‍ය ලොකවල ඉපදීමටනොහැක. එනම් සංවේජනීයානං යන වචනයෙ පරිවර්ත දොශයක් ඇත.මෙය හරියටම දැන ගැනීමෙන්ම ඉහත ප්‍රශ්න සියල්ලටම පිලිතුරු ලැබෙයි.


    ReplyDelete
    Replies
    1. පහන් සංවේග කියන්නේ අකුසල් ද😂😂😂😂😂

      Delete
  2. ඔව්, සංවෙග යනු ලොබ ද්වෙශ මෝහයන්ගෙ වෙගයත් වෙදනාවත් වේ. එහි ශදහන් වී ඇත්තෙ සංවේ ජ නීයානං යනුවෙනි. එහි තෙරුම ලොබ ද්වෙශ මෝහ යටපත් කිරීම නැසීම යනුයි

    ReplyDelete
    Replies
    1. මේ මීරිගම සං ධර්මය මිසක් බුදු දහම නෙවෙයි.
      විකෘතිය තමයි ඕක

      Delete

Post a Comment

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?