මහා සම්මත රජු හා මනු රජු

මහාසම්මත හා මනු රජු එක් අයෙක්ද? දෙදෙනෙක්ද?

මහාසම්මත මනු රජු යන ඒ
යෙදුම බහුලව භාවිතා වන බැවින් ඒ ගැන සත්‍ය කුමක්ද යන්න සොයා බැලීම මෙහි අරමුණ විය.

පුරාණ ලිඛිත මූලාශ්‍ර උපයෝගී කරගෙන සිදුකරන මෙමෙ විග්‍රහයේ දී පහත කරුණු සලකා බලනු ලැබේ.

1. මහාසම්මත රජු
2. මනු රජු
3. මේ දෙදෙනා එක් අයෙක්ද?

මහාසම්මත රජු පිළිබඳ ලිඛිත මූලාශ්‍ර ගණනාවක සඳහන් වන අතර එකින් ඒක සලකා බලමු.

1. ත්‍රිපිටකය.
ත්‍රිපිටකයේ අග්ගඤ්ඤ සූත්‍රයේ ලෝකය නිර්මාණය වීම හා සත්වයන් පහළ වීම ගැන විස්තර කරන අතර එසේ මුලින්ම ඕපපාතිකව පහළ වූ සත්වයන් අතර සම්මතයෙන් ඔවුන්ගේ පාලනය පිණිස පත් කරගත් පළමු පාලකයා/ රජු මහාසම්මත රජු විය. (ඡායාරූප අංක 01 හා 02)



වාසෙට්ඨය, එසේ මහජනයා විසින් සම්මත කරණ ලද්දේය යන අර්ථයෙන් මහාසම්මතය, මහාසම්මතයයි කියා පළමුවන නාම (ව්‍යවහාර)ය ඇතිවිය ( අග්ගඤ්ඤ සූත්‍රය, මහාසම්මත රාජා. 130)

මෙසේ මහාසම්මත රජු ගැන සඳහන් කරන ත්‍රිපිටකය මනු රජෙකු ගැන හෝ මහාසම්මත මනු රජෙකු ගැන සඳහන් නොකරයි.

2. මහාවංශය.
මහාවංශයේ දෙවන පරිච්ඡේදය ආරම්භයේදී කල්පාරම්භයේදි සිටි මහාසම්මත නාරෙන්ද්‍රයා ගැන සඳහන් කරන අතර ( අංක 3 ඡායාරූපය) එහිදිද ත්‍රිපිටකයේ මෙන්ම මනු හෝ මහාසම්මත මනු ගැන සඳහනක් නොකරයි.



3. සිංහල දීපවංශය.
මෙහිද මහපොළව මත පළමුවෙන් අභිෂේක ලැබූ මහාසම්මත රජු පිළිබඳව සඳහන් කරයි. නමුත් එතනද මහාසම්මත මනු හෝ මනු රජෙකු ගැන නොකියයි. ( 3 වන පර්ච්චේදය, 51 පිටුව) (අංක 4 ඡායාරූපය)



4. පූජාවලිය.
පූජාවලියෙහි ද මහා සම්මත රජු පිළිබඳව හා ඔහුගේ පරම්පරාව ගැන දීර්ඝ විස්තරයක් ඇති අතර එහිද මනු හෝ මහාසම්මත මනු ගැන සඳහනක් නැත. (7 වන පරිච්ඡේදය, 109 පි)( අංක 5 ඡායාරූපය).



5. විෂ්ණු පුරාණය.
මෙහි මහා බ්‍රහ්ම විසින් මනු මැවීම ගැන විස්තර ඇති අතර මනු ස්වයම්භූ ලෙස සඳහන් වෙයි. නමුත් එහි මහාසම්මත ගැන සඳහනක් නැති අතර බ්‍රහ්ම විසින් මැවීම සිදු කරයි. එසේම මෙහි මනු ගැන සංකල්පයද මහාසම්මත සංකල්ප යෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. ( අංක 6 ඡායාරූපය මේ ඉංග්‍රීසි පරිවර්තනයකි)


6. බ්‍රහ්ම පුරාණය.
බ්‍රහ්ම පුරානයේද එසේම මහා බ්‍රහ්ම විසින් ප්‍රථම මනුෂ්‍යයා ලෙස මනු මාවන ලද බව සඳහන් කරයි. එහිද මහාසම්මත බව සඳහන් නොකරයි. එසේම සංකල්පයද වෙනස්ය.
( අංක 7 ඡායාරූපය)මෙයද ඉංග්‍රීසි පරිවර්තනයකි.



මෙම මූලාශ්‍ර අනුව සලකා බලන විට මහාසම්මත රජු හා මනු රජු සම්පූර්ණයෙන් වෙනස් සංකල්ප දෙකක් බව පැහැදිලිය.

a) මහාසම්මත රජු යනු ලෝක ආරම්භයේදී ඕපපාතිකව පහළ වන සත්වයන් විසින් සියලු දෙනාගේ මහා සම්මතයෙන් පත් කරගන්න රජු වේ.

b) මනු රජු යනු හින්දු ආගමේ එන මැවුම් සංකල්පය අනුව මහා බ්‍රහ්ම විසින් මවන ලද ප්‍රථම මනුෂ්‍යයා/ රජු වෙයි.

මෙම මැවුම් සංකල්පය බුදු රදුන් විසින් ප්‍රතික්ෂේපිත සංකල්පයකි. මෙම චරිත දෙක මෙම පැරණි මූලාශ්‍ර වල පැහැදිලිව දෙදෙනෙක් ලෙස සඳහන් වන අතර මේ දෙදෙනා එකට සම්බන්ධ කළ මූලාශ්‍ර ලැබෙන්නේ දඹදෙණි යුගයේ අවසාන කාලයේ, කුරුණෑගල හා කෝට්ටේ යුගයන්වලදිය.

1. සිංහල බෝධි වංශය.
කුරුණෑගල යුගයේදී ලියවුන බව සලකන සිංහල බෝධිවංශයේ මහාසම්මත රජු හා මනු රජු එකතු කර මහාසම්මත මනු ලෙස දක්වයි.
( අංක 8 ඡායාරූපය) මෙය හින්දු ආගමේ හා මෙම යුගය වනවිට පැවති සංස්කෘත සාහිත්‍ය යේ බලපෑම නිසා සිදුවන්නට ඇති බව සැලකිය හැකිය.


2. දෙවිනුවර දේවාල තඹ සන්නස. දෙවිනුවර දේවාල සන්නසේ මේ නම් දෙක එකතු කර මනුසංඛ්‍යාත මහාසම්මත පරම්පරාව ලෙස සඳහන් කර තිබෙන අතර ( අංක 9 ඡායාරූපය) මෙම කාල වකවානුව වන විට හින්දු ආගමේ බලපෑම නිසා මනු හා මහාසම්මත එක්කොට දක්වන්නට ඇතැයි සීතිය හැක.


නමුත් එම යුගයටම අයත් දෙවිනුවර දේවාලය අසලින් හමුවූ දැනට කොළඔ කෞතුකාගාරයේ ඇති සෙල් ලිපියේ මහාසම්මත රජු ලෙස පමණක් සඳහන්ව ඇත.( අංක 10 ඡායාරූපය)



එකම ස්ථානයක මෙලෙස ආකාර දෙකකින් සඳහන් ව තිබීම මෙම මහාසම්මත මනු එකම පුද්ගලයෙක් බවට පරිවර්තනය කරන්නට ඇත්තේ එම යුග වලදී බවට හොඳ සාක්ෂියකි.

පසුව වඩාත් ආසන්න කාලයේ හෙළ හවුල විසින් මෙම මහාසම්මත රජු හා මනු රජු එක් අයෙකු වන ලෙස මහාසම්මත මනු ලෙස නම භාවිතා කර ඇත.

මේ කරුණු සලකා බැලීමේදී මහාසම්මත රජු බූදු රදුන් වදාළ රජකෙනෙකු වන අතර මනු යනු හින්දු දේව සංකල්පයකි.
කුරුණෑගල හා කෝට්ටේ යුගයේදී පමණ මේ දෙක එකතු කර මහාසම්මත මනු ලෙස දක්වන්නට ඇති බව සැලකිය හැක.

එබැවින් මේ මහාසම්මත මනු ලෙස හැඳින්වීම හින්දු ආගමේ බලපෑම මත මෑත කාලීනව කෘතිමව ඇති වූවක් මිස බුද්ධ දේශනාවේ හෝ අතීත වංශකතා හෝ ඉතිහාස කතා වල එන කරුණක් නොවන බව තහවුරු කළ හැක.

අප කළ යුත්තේ වෙනත් ආගම් වලින් බුදු දහමට එකතු වන කරුණු වැඩිදියුණු කිරීම නොව එම කරුණු බැහැර කර පිරිසිදු බුදු දහම ඉදිරියට රැගෙන යාම බැවින් මහාසම්මත රජු (මනු යන හින්දු ආගමේ මැවීම් සංකල්පයේ එන රජු බැහැර කර) පමණක් ඉදිරියට රැගෙන යාමයි.

තෙරුවන් සරණයි.

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

ෆාහියන් හිමියන් තරණය කල කාන්තාරය යනු මහවැලි ගඟ ද

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්