අනුරාධපුරය සමුද්‍රාසන්නයේ නගරයක් ද?


හෙල බුදුන් කණ්ඩායම් අනුරාධපුරය වර්තමාන පිහිටි ස්ථානයෙන් ඉවත් කොට රටේ දකුනේ රුහුනේ බවට පෙන්වීමට ඉතා දැඩි උත්සාහයක් දරමින් සීටි. එයට හේතුව ලෙස ඔවුන් ව්‍යංගයෙන් පෙන්වන්නේ ලංකාවේ උතුරු ප්‍රදේශය ජම්බුද්විපය බවද දකුණේ ලංකාද්විපය පිහිටි බවයි. නමුත් ඔවුනගේ සැඟවුන අභිප්‍රාය නම් ක්‍රිපු 4 වන සියවසේ පමණ සිට ලංකාද්විපයේ අගනුවර වූ අනුරාධපුරය වර්තමාන ස්ථානයෙන් ඉවත් කොට උතුරේ බෙදුම්වාදී කණ්ඩායම් වලට සිය ව්‍යාජ නිජභුමිය වෙනුවෙන් අයිතිය තහවුරු කර දීමයි. ඔවුන් ඒ සඳහා ලිඛිත සහ පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි අති මහත් ප්‍රමාණයක් මගින් ඉතා නිවැරදිව තහවුරු කර ඇති අනුරාධපුරය පිලිබඳව යම් යම් ව්‍යාජ කරුණු පෙන්වමින් සැක මතු කීරිමේ මෙහෙයුමක් සිදු කරමින් සිටින ආකාරය දැක ගත හැක. එම මෙහෙයුමේ එක් අදියරක් නම් අනුරාධපුරය සමුද්‍රාසන්නයේ පිහිටි නගරයක් බවත් ඒ නිසා වර්තමාන පිහිටුම ඒ සමග නොගැලපෙන බවටත් ගෙන යන විකෘති මතයයි.



මේ කාරණය තහවුරු කර පෙන්වීම සඳහා සාධක ලෙස හෙල බුදුන් කණ්ඩායම් කරුනු තුනක් ගෙන හැර දක්වා ඇත.


1.) සීහලවත්ථුවේ එන හරිතාල තිස්ස තෙරුණ්වහන්සේ ගේ කතාවේ කොටසක් උපුටා දක්වා එහි අනුරාධපුරය සමුද්‍රාසන්නයේ බවට සඳහන් වන බව පවසන අතර එම කොටස පහත උපුටා දක්වමි.


~~මෙසේ අසන්ට ලැබේ. සිංහලද්වීපයෙහි අනුරාධපුරයට බටහිර දෙසැ පස්යොදුනක් පමණ තැන මූද අසල භූමංගණ නම් ගමක් ඇත. එගම්හි බැලමෙහෙ කරන පවුලක් විසී.~~


මේ සඳහන කියවන සිංහල බස පිළිබඳව යන්තම් වැටහිමක් ඇති අයෙකුට වුවුද මුහුද අසල ඇත්තේ භූමංගණ නම් ගම මිස අනුරාධපුරය නොවන බව වැටහෙනු ඇත. එසේම අනුරාධපුරය පිහිටා ඇත්තේ භූමංගණ ගම පිහිටි බටහිර වෙරළ ආසන්නයේ සිට යොදුන් පහක් නැගෙනහිර දෙසින් බවද වැටහෙනු ඇත. ඒ අනුව හෙල බුදුන් කණ්ඩායම් වල බොන්සායි යොදුන වන කිමි 1.6 එම දුරට ආදේශ කලේ වුවුද කිමි 8 කට වඩා වැඩි දුරක් බටහිර වෙරළේ සිට අනුරාධපුරය ට ඇත. එබැවින් මේ සීහලවත්ථුවෙ මේ සඳහන් කොටස අනුව තහවුරු වන්නේ අනුරාධපුරය සමුද්‍රාසන්නයේ පිහිටි බව නොව සමුද්‍රාසන්නයේ නොපිහිටි බවයි. මේ අනුව මූලාශ්‍ර  පෙන්වමින් ඒවාට අඳ බාල සිල්ලර අර්ථ දෙමින්  හෙල බුදු කණ්ඩායම් ඉතිහාසය විකෘති කරන බව තහවුරු වේ.


2.) මීළඟට සීහලවත්ථුවෙ සඳහන් ගල් ප්‍රේතයාගේ කථාවෙහි එන පහත කොටස උපුටා දක්වන හෙල බුදුන් කණ්ඩායම් අනුරාධපුරය සමුද්‍රාසන්නයේ බවට දෙවන සාක්ෂිය ලෙස එය දක්වයි.

~~මෙසේ අසන්ට ලැබේ. හෙළදිව රුහුණු දනව්වෙහි සැටක් පමණ භික්ෂූහු මහබෝ වැඳීම පිණිස උත්තරා පථයට[1] ගියාහු ය. ඔවුහු ක්‍ර‍මයෙන් අනුරාධපුරයට ඇතුල්ව මහාකොණ්ඩ නම් තැනදී නැව් නැග කාචේරිපටුනෙහි බැස ක්‍ර‍මයෙන් යන්නාහු මහවනයට[2] ඇතුල් වූහ.~~


මෙහි ඇති අනුරාධපුරයට ඇතුල්ව මහාකොණ්ඩ නම් තැනදි නැව් නැග්ග ලෙස ඇති සඳහන පෙන්වා මහාකොණ්ඩ නම් තැන අනුරාධපුරයේ බවත් එම ස්ථානයෙන් නැව් නැංග බැවින් අනුරාධපුරය සමුද්‍රාසන්නයේ බව තහවුරු වන බව හෙල බුදුන් කණ්ඩායම ප්‍රකාශ කරයි.

මෙහි ඇත්තේ ගමන් විස්තරයකි. එම ගමන සිදු කරන ආකාරය කෙටියෙන් විස්තර කර ඇත. 


~~ක්‍ර‍මයෙන් අනුරාධපුරයට ඇතුල්ව මහාකොණ්ඩ නම් තැනදී නැව් නැග කාචේරිපටුනෙහි බැස ක්‍ර‍මයෙන් යන්නාහු මහවනයට~~ 

ලෙස ගමන අතර ඒ ඒ විශේෂිත ස්ථාන වල සිදුවු වැදගත් කාර්‍යයන් පමණක් එහි සටහන් කර ඇත. මේ පිරිස පැමිණියේ රුහුණේ සිට බැවින් ක්‍රම ක්‍රමයෙන් අනුරාධපුරයට ඇතුළුව අනතුරුව මහාකොණ්ඩ නම් තැනින් නැව් නැංග බව සඳහන් කරන්නේ ඒ අතර ඇති විස්තර රාශියක් නොමැතිව‍ය.  ඒ ලෙස රුහුනේ සිට අනුරාධපුරය තෙක් අතර මග කිසිදු විස්තර කතාවක් ද සඳහන් නොවන බැවින් ගමනේ ඉතිරි කොටස ද එලෙසම බව සැලකිය හැක. එම නිසා අනුරාධපුරයට ඇතුලුව මහාකොණ්ඩ නම් තැනින් නැව් නැංග බව පැවසු පමණින් මහාකොණ්ඩය අනුරාධපුරයේ පිහිටි ලෙස ගත හැකි වන්නේ ලිඛිත සම්ප්‍රදායන් පිළිබඳව අබමල් රේණුවක හෝ වැටහිමක් නැති අයෙකුට පමණි. 

අනුරාධපුරය ලංකාද්විපයේ අගනුවර වන බැවින් අනුරාධපුරයට ඇතුළුව යන සඳහන කරන්නට ඇතැයි උපකල්පනය කල හැක. එසේම නැවට නැංග බව පමනක් සඳහන් කර අතර විස්තර කිසීවක් නැතුව කාවේරි පටුනෙහි බැස්ස බව ඊලඟට සඳහන් වීම වඩා වැදගත් කරුනු පමනක් එහි විස්තර කර ඇති බවට ඉහත කී කාරනය සනාථ කරන්නක් වේ. තවද කිවයුතු වන්නේ මෙම කතාවට පෙර ඉහත හරිතාල තිස්ස තෙරුණ්ගේ කථාවේ අනුරාධපුරයේ සිට බටහිර මුහුදට යොදුන් පහක් පමන වන බව සටහන් වීමත් වෙනත් දිශාවක ඊට ආසන්නයේ මුහුදු වෙරළක් ගැන කිසිදු සඳහනක් නොවිමත් නිසා මෙවැනි සාහිත්‍ය කාරනයක් විකෘති කොට දක්වා, ඒ අනුව පමණක් වෙනත් ඉහල නිරවද්‍යතාවයකින් යුතු සාධක රාශියක් මගින් තහවුරු වන අනුරාධපුරය එම ස්ථානයේ නොව සමුද්‍රාසන්නයේ යැයි කීම කොතරම් අණුවන ද යන්න සිතා බැලීම පාඨකයන්ට බාර කරමි.

සීහලවත්ථුව සිංහලට පරිවර්තනය කල පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් අනුමාන කරන්නේ මහාකොණ්ඩ යනු බටහිර වෙරළේ පිහිටි මහාතිත්ථ වරාය බවයි. එසේම හෙල බුදුන් කණ්ඩායම් මේ බටහිර දිශාවේ නොව වෙනත් දිශාවකින් අනුරාධපුරය සමුද්‍රාසන්නයේ තිබු බව පවසන්නේ නම් බටහිර වෙරළේ සිට යොදුන් පහක් (ඔවුන්ගේ කිම් 1.6 යොදුන අනුව කිමි 8ක් ) දුරින් සහ වෙනත් දිශාවකින් සමුද්‍රාසන්නයේ අනුරාධපුරය පිහිටා ඇති ස්ථානය පෙන්වා තහවුරු කළ යුතුය. එසේ නොමැතිව මේ බොරුව තවත් ගෙන යන්නේ නම් ඒ මේ ලිපිය ආරම්භයේ පැවසු යටි අරමුණ ඉටු කර ගැනිම පිණිස ගොබෙල්ස් න්‍යාය උපයෝගි කරගැනිමක් බව කිව යුතුය.


3.) මීළඟට මහාවංස ටීකාව හෙවත් වංසත්තප්පකාසිනියේ එන මේ කොටස තෙවන සාක්ෂිය ලෙස ඔවුන් උපුටා දක්වයි.

~~"මේ ප්‍රාසාදය වනාහි අනුරාධපුරයෙන් නව යොදුන් තන්හි කසුප්තොට සමිපයෙහි දිඹුලාගල මත සිටිනවුන් හට ද, බටහිරින් මුහුදෙහි යොදුනක් තන්හී සිටිනවුන් හට ද, දිය ගොඩ දෙක්හි හැසිරෙන වුන් හට ද දිස් වේ" යයි අටුවායෙහි කියන ලදි.~~ 

මේ සඳහන අනුව අනුරාධපුරයේ ලෝවා මහාප්‍රාසාදය බටහිර මුහුදේ යොදුනක් තැන් දුරට දිස් වන බවත් එසේ දිස් විය හැක්කේ අනුරාධපුරය සමුද්‍රාසන්නයේ පිහිටි නිසා බවත් හෙල බුදුන් කණ්ඩායම පවසයි. 

ඉහත දි සීහලවත්ථුවෙ සහ වංසත්තප්පකාසිනියේ සඳහන් විස්තර අනුව බටහිර මුහුදු වෙරලේ සිට අනුරාධපුරය දක්වා යොදුන් පහක් ඇති බැවින්, හෙල බුදුන් කණ්ඩායමේ බොන්සායි කි.මි. 1.6 යොදුන අනුසාරයෙන් වුවුද අනුරාධපුරය බටහිර වෙරලේ සිට කිමි 8 ක් දුරින් පිහිටිය යුතු බව ඉහත පෙන්වන ලද හෙයින් එසේ සමුද්‍රයේ යොදුනක් දුර දිස්වුවද අනුරාධපුරය සමුද්‍රාසන්නයේ නොවන බව පැහැදිලිය. තවද බටහිර දිසාවෙන් යොදුන් හයක් (ගොඩබිම යොදුන් පහක් සහ මුහුදේ යොදුන් එකක්) දුරට එසේ දිස්වන ලෝවාමහාපාය අනෙක් පසින් නව යොදුනක් මත්තෙන් පිහිටි දිඹුලාගල මතට දිස්වන බව මේ හෙල බුදුන් කණ්ඩායම් නොසලකා හැර ඇතිවාක් මෙන්ම ඒ පිලිබඳව කතා කිරිමටද අකමැතිය. ඒ ඔවුනගේ සමුද්‍රාසන්නයේ අනුරාධපුරයේ බොරුව එම දිඹුලාගල සම්බන්ධ කාරනයෙන් තහවුරු වන බැවිනි. 


දිඹුලාගල සහ අනුරාධපුරය අතර දුර යොදුන් නමයක් වන බැවින් හෙල බුදුන් කණ්ඩායමේ කිමි 1.6 යොදුන අනුව දිඹුලාගලට කිමී 14.4 ක් දුරින් ඔවුනගේ අනුරාධපුරය පිහිටා තිබිය යුතුය. නමුත් දිඹුලාගල සිට ආසන්නම වෙරළ තීරයට ද කිමි 47 පමණ දුරක් ඇත. ඒ එසේ හෙයින් දිඹුලාගලින් නැගෙනහිර දෙසට හෙවත් මුහුද දෙසින් කිමි 14.4 ක් දුරින් හෙල බුදුන් කණ්ඩායමේ අනුරාධපුරය පිහිටියේ යැයි සැලකුවද මුහුද වෙරලට එතැන් සිට තවත් කිම් 30 කට වඩා දුරක් ඇති බැවින් මේ මූලාශ්‍රය අනුව ද අනුරාධපුරය කිසිසේත්ම සමුද්‍රාසන්නයේ පිහිටා නොමැති බැව් සනාථ වේ.


තවද මේ මූලාශ්‍ර සටහන් අනුව අනුරාධපුරය බටහිර මුහුද සහ දිඹුලාගල අතර පිලිවෙලින් යොදුන් පහක් සහ නමයක් දුරින් පිහිටි බව පැහදිලිව ඇත. එමෙන්ම බටහිර වෙරල සහ මහවැලි ගඟේ පිහිටි රුහුණේ සිට රජරටට එන ප්‍රධාන තොට වන කසාතොට හෙවත් කසුප්තොට ආසන්නයේ පිහිටි දිඹුලාගල නොවෙනස් ස්ථාන වේ. එවිට අනුරාධපුරය එම නොවෙනස් වන ස්ථාන අතර පිහිටි ස්ථානයක තිබිය යුතුය. එනම් රට මැද පිහිටි ස්ථානයක බව ඉතාම පැහැදිලි වේ. ඒ මගින් වෙනත් දිශාවකින් අනුරාධපුරය සමුද්‍රාසන්නයේ ඇතැයි යන ප්‍රකාශය ද පදනමක් නැති බොරුවක් බව තහවුරු කළ හැකිය. 


මීළඟට හෙල බුදුන් කණ්ඩායම් නගන ඔවුනට ඉතිරි එකම තර්කය නම් වර්තමාන අනුරාධපුරයේ පිහිටි ලෝවාමහාපාය එලෙස විස්තර කරන ආකාරයට බටහිර මුහුදට දිස් විය හැකිද යන්නයි.

එම පැනයට පිලිතුරක් ඉහත උපුටා දැක්වු වංසත්තප්පකාසිනිය ඇසුරෙන්ම ඉදිරිපත් කල හැක. වංසත්තප්පකාසිනිය අනුව ලෝවාමහාපාය සෙවිලි කර තිබී ඇත්තේ තඹ ලොහොමුවා උළු වලිනි.

~~ මේ ප්‍රාසාදය තඹ ලොහොමූවා උළු වලින් සෙවිලි කරන ලද හෙයින් ලෝහ ප්‍රාසාදය යන මේ ව්‍යවහාරය උපන යන අර්ථයයි~~ 

ඒලෙස ලෝහයෙන් සෑදු විශාල වහලය නිසා සූර්‍යාලෝකය පරාවර්තනය වීමෙන් සුර්‍යාලෝකය පතිත වන දිසාව සහ නිරික්ෂකයා ගැලපෙන අකාරයෙන් ස්ථනගතව සිටියහොත් ඉතා විශාල දුරකට දිස්විය හැකි අතරම මීට අවුරුදු 2000 කට පමන පෙර තිබු ඉතා අඩු වායුගෝලිය දූෂණය වැනි කරුණු සැලකීමේදි ලෝවාමහාපාය සුළු කොටසක් හෝ ඒ අකාරයෙන් මුහුදට දිස් වීමේ හැකියාව තිබෙන්නට ඇත. එසේම කතුවරයා ගේ මෙහි අදහස ලෝවාමහාපායේ අසිරිය සහ මහත් බව වර්ණනාකොට පෙන්වීම බැවින් අහඹුවෙන් හෝ විරලව හෝ මුහුදේ සිට ලෝවාමහාපාය දිස් වූ අවස්ථාවක් ගැන මුහුදේ සිටත් ලෝවාමහාපාය පෙනෙන්නේ යැයි යන අදහස ඉස්මතු කිරිම සඳහා යොදන්නට ඇති බව කිව හැක. එයින් හෙල බුදු කණ්ඩායමේ ඉතිරිව තිබු එකම තර්කය ද වලංගු භාවයක් නොමැති හිතලුවක් බව ප්‍රත්‍යක්ෂ වේ. 

එමෙන්ම ඉහත හෙල බුදුන් කණ්ඩායම් ගෙන ආ වංසත්තප්පකාසිනිය අනුව මේ දිවයිනේ අනුරාධපුරය ට දකුණෙන් සුමන කූටය පිහිටි බව එහි ඇති මේ සඳහන අනුව තහවුරු වේ.

~~මේ දිවයිනෙහි දකුණු දෙසින් සුමන කූට පර්වත රාජයා මේරු පර්වතය සෙයින් පිහිටියේය ; උතුරු දෙසින් ලෝහප්‍රාසාදය මේරු පර්වතය සෙයින් පිහිටියේ යි ද කියන ලදි~~

එනම් අනුරාධපුරය දකුනු දිසාවෙන් සමුද්‍රාසන්නයේ නොවන බව තහවුරු වන අතරම අනුරාධපුරය රුහුණට ගෙන යෑමට උත්සාහ දරන හෙල බුදුන් කණ්ඩායම් වල මතයද මේ සඳහන අනුව විහිළුවක් බවට පත් වේ.


එමෙන්ම මහාවංසයේ දුටුගැමුනු රජතුමා රුවන්වැලි සෑය ඉදිකරන අවස්ථාවේ අනුරාධපුරයට විවිධ දිශාවන් ගෙන් ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය දේවතානුභාවයෙන් පහළ වූ බව සඳහන් කරන්නේ මෙසේය.

~~ පුරයෙන් ඊසාන දෙස තුන් යොදුනක් මත්තෙහි ආචාර විදිනම් ගම ~~නානාප්‍රකාර වු ස්වර්ණ බීජයෝ උපන්හ~~

~~පුරයෙන් ඉඳුරු දෙස සත් යොදුනකින් මත්තෙහි ගඟ එතෙර තඹවිට නම් ගම තඹලෝ උපන~~

~~පුරයෙන් ගිණිකොණ පෙදෙස සතර යොදුනෙන් දුර සමන් වැව් නම් ගම බොහෝ මැණික් උපන්හ~~

~~නුවරින් දකුණු පස අට යොදුන් මත්තෙහි අම්බට්ඨකොල නම් දනව්වෙහි ලෙණක රිදී උපන~~

~~ පුරයෙන් බටහිර පස පස් යොදුනකින් මත්තෙහි උරුවෙල් පටුනෙහි මහ ඇඹුලුපල පමණ වු මුතුපල අතරතුරු පබළු සමග මුහුදින් ගොඩ නැංගාහ~~


  මේ ලෙස අනුරාධපුරය වටා අනෙකුත් දිශාවන් වල විවිධ දුරවල් වලින් පිහිටි ගම් සහ ස්ථාන සඳහන් කර ඇති බැවින් අනුරාධපුරය සමුද්‍රාසන්නයේ ලෙස ගතහොත් ඒ සමහර ස්ථාන මුහුදේ ඇති ලෙස ගැනිමට සිදුවීම හාස්‍යජනක බව නොවැටහෙන්නේ මූලාශ්‍ර වල කරුනු නොදත් හෙල බුදු කණ්ඩායම් වැනි මුග්ධ පිරිසට පමණි. එබැවින් මේ ඉහත විස්තර කල සියලු කරුණු අනුව අනුරාධපුරය සමුද්‍රාසන්නයේ පිහිටියක් නොවන බව සහ ඒවා එහි වර්තමාන පිහිටිමට ඉතා මැනවින් ගැලපෙන බවද පැහැදිලි වේ.

අවසානයේ කිව යුත්තේ මූලාශ්‍ර වල ඇති දිශාවන් වැනි කාලයත් සමග නොවෙනස් වූ කරුණු නොසලකා හැර දැනට දක්නට නැති ගොඩනැගිල්ලක් වසර දෙදහසකට පෙර මුහුදට දිස් වූයේද නැද්ද යන උපකල්පනය මත පමණක් ශතවර්ෂ 15 ක් පමණ ලංකාවේ අගනුවර ලෙස පැවති ලිඛිත සාධක සමග මැනවින් ගැලපෙන සෙල්ලිපි සහ වෙනත් පුරාවිද්‍යා සාධක සාක්ෂි අති මහත් ප්‍රමාණයක් මගින් මැනවින් තහවුරු වූ අනුරාධපුරය වර්තමාන ස්ථානයේ නොව වෙනත් තැනක පිහිටියේ යැයි කීම කෙතරම් මුග්ධ කමක් ද යන්නට අටුවා ටිකා අවශ්‍ය නැති බවයි. 


මනොජ් කුමාර

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?