ආටානාටිය සූත්‍රයේ කියවෙන වරම් රජවරුන් සහ සත්ව කොට්ඨාස මනුෂ්‍යයන් ද?

 

බුදු රදුන් ලංකාවේ යන ව්‍යාජ මතය ගෙන එන පිරිස ඔවුනගේ ව්‍යාජ මතය තහවුරු කරනු පිනිස කිසිදු පැරණි මූලාශ්‍රයක සඳහන් නොවන සිව්හෙලය නමින් මතයක් ඉදිරිපත් කොට අටානාටිය සූත්‍රයේ චත්තාරෝ මහාරාජා ලෙස සඳහන් සතර වරම් දෙවි වරුන් හා ඔවුනගේ පිරිස වන යක්ෂ, නාග, ගාන්ධර්ව සහ කුම්භාන්ඩ යන සත්ව කොට්ඨාශයන් එම ඊනියා සිව් හෙලයේ රජවරු සහ යටත් මනුෂ්‍ය ජන කොටස් බවට විකෘති අදහසක් ප්‍රකාශ කරයි.


ආටානාටිය සූත්‍රයේ කිසිදු ස්ථානයක සිව් හෙලයක් ගැන සඳහන් නොවනවා සේම එම සත්ව කොට්ඨාස අමනුෂ්‍යයන් බව ඉතාම පැහැදිලිව එහි කියැවෙයි. ඒ බව සූත්‍රයෙන් උපුටා ගත් සාධක සමග ඉහත ලිපියක පෙන්වාදි ඇත.



ත්‍රිපිටකයේ ඇති තවත් සූත්‍ර කීපයක් ඇසුරින් එම සතර වරම් දෙවි වරුන් සහ සත්ව කොට්ඨාස මනුෂ්‍යන් නොවන බව තව දුරටත් පෙන්වාදීම මේ ලිපියේ අරමුණයි.


◾ මහාසමය සූත්‍රය.


සූත්‍රයේ සඳහන් වන්නේ බුදු රදුන් රහතන් වහන්සේලා පිරිවරාගෙන කිඹුල්වත් පුර වැඩ වෙසෙන සමයේ උන් වහන්සේ දක්නා පිනිස දේව කොට්ඨාස පැමිනි බවයි.


~~මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුර අසල මහ වෙනෙහි සියලු දෙනා ම රහත් වූ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහද් භික්‍ෂූ සමූහයක් හා වැඩ වසන සේක. දස (දහසක්) ලෝදායෙනුත් භගවත් බුදුරජුන් ද බික්සඟන ද දක්නා පිණිස දෙවියෝ බෙහෙවින් මුළු දෙවුණාහු වෙත්.~~


එසේ පැමිනි දේව සමුහය පියවි ඇසින් නොපෙනෙන බැවින් බුදු රදුන් භික්ෂුන් වහන්සේලාට එම දේව සමුහය දකිනු පිනිස දිවැස් උපදවන්නැයි පැවසිය.


~~‘මහණෙනි, දේව සමූහයෝ පැමිණියාහ. ඔවුන් දිවැස් නුවණින් දනිවු’ යි වදාළහ. ඔහු ද බුදුරජුන්ගේ හස්න අසා දිවැස උපදවනුවට වැර වැඩූහ.

වහා ම ඔවුනට අමනුෂ්‍යයන් දක්නා නුවණ පහළ විය. ඇතැම් මහණ කෙනෙක් අමනුෂ්‍යයන් සියයක් දුටුහු, ඇතැම් මහණ කෙනෙක් දහසක් අමනුෂ්‍යයන් දුටුහු. ඇතැම් මහණ කෙනෙක් සැත්තෑදහසක් දුටුහු.

ඇතැම් මහණ කෙනෙක් සියදහසක් දුටුහු. ඇතැම් මහණ කෙනෙක් අනන්ත දෙව් බඹුන් දුටුහු. සියලු දිශාවෝ දෙව්බඹුන් ගෙන් පැතිරගත්තෝ වූහ. ~~


මේ අනුව එලෙස බුදු රදුන් දක්නට පැමිනි දේව සමුහය පියවි ඇසිට නොපෙනෙන අතර ඔවුන් මනුෂ්‍යන් නොවන බව තහවුරු වෙයි.


අනතුරුව බුදු රදුන් එලෙස පැමිනි අමනුෂ්‍යයන් පිලිබඳව අනුපිලිවෙලින්  විස්තර කරන අතර එයින් මෙහි ප්‍රස්තුතය ට අදාල කොටස පමනක් උපුටා දක්වමි.


~~ ධෘතරාෂ්ට්‍ර වරම් රජ පෙර දිග ද, විරූඪක වරම් රජ දකුණු දිග ද, විරූපාක්‍ෂ වරම් රජ පැසිම් දිග ද, කුවේර වරම් රජ උතුරු දිග දැ යි ඒ සතර වරම් මහරජුහු කිඹුල්වත් පුර වනයෙහි හාත්පසැ අතිසයින් බබළමින් සිටියාහ.

ඔවුන්ගේ මායාවී වූ වංචනික වූ ශඨ වූ කපට වූ කුටෙණ්ඩු, වේටෙණ්ඩු, විටු, විටුඩ යන දාසයෝ ද, ~~  


මේ අනුව සතර වරම් රජවරුන් ඔවුන්ගේ පුත්‍රයන් (වරම් රජවරුන් සමග පැමිනි ඔවුන්ගෙ පුත්‍රයන් පිලිබඳවද සූත්‍රයේ සඳහන් වේ) හා දාසයන් වනාහි මනුෂ්‍යයන් නොව පියවි ඇසට නොපෙනෙන අමනුෂ්‍යයන් කොට්ඨාශයක් බව ඉතාම පැහැදිලිව තහවුරු වේ.


◾ සක්කපඤ්හ සූත්‍රය 


සක්කපඤ්හ සූත්‍රයේ සක් දෙවිඳු ගේ අතවැසි පන්සිළු දෙව් පුත් බුදු රදුන් බැහැ දුටු අවස්ථාවේ උන් වහන්සේ මෙසේ දේශනා කර ඇත.  


~~ පන්සිළුව, මෙසේ ඇමැතියන් සහිත, පිරිවර ජනයා සහිත සක් දෙවිඳු සුව පත් වේ වා. දෙවියෝත් මිනිස්සුත් අසුරයෝත් නාගයෝත් ගන්‍ධර්‍වයෝත් මෙයින් අන්‍ය යම් බොහෝ සත්‍ව කෙනෙක් වෙත් නම් ඔහු හැම ද යන මේ සියල්ලෝ සුව කැමැත්තාහු ම ය. ~~


මේ දේශනාව අනුවත් අසුර නාග හා ගාන්ධර්ව යන කොට්ඨාස මනුෂ්‍යන් ගෙන් බැහරව වෙනම හඳුන්වන බැවින් මනුෂ්‍යන් නොවන වෙනත් අමනුෂ්‍ය සත්ව කොට්ඨාශයන් බවට පැහැදිලි වේ.


◾ජනවසභ සූත්‍රය 


මගධ දේශයේ රජව සිට මියගිය බිම්බිසාර රජතුමා ජනවසභ නම් දෙවියෙකුව උපත ලද අතර ඒ ජනවසභ දෙවියන් බුදු රදුන් බැහැදැකිමට පැමිණ කරන විස්තරයේ තව්තිසා දිව්‍යලෝකයේ සුදර්මා නම් දේව සභාව ගැන මෙසේ සඳහන් කරයි.


~~ වහන්ස, පෙර දවසැ, බොහෝ දවසකට පෙරැ, ඒ පසොළොස්වක් පොහෝ දා, වැසි ඍතුව එළැඹි, පුරා සඳ ඇති රැයෙහි, සියලු තව්තිසා වැසි දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත්. මහත් දෙව් පිරිස්හු ද එක් වැ හුන්නාහු, එක්රැස් වූවාහු ද වෙත්. සිවුවරම් මහ රජදරුවෝ ද සිවු දිගැ හුන්නාහු වෙත්. පෙර දිගැ ධෘතරාෂ්ට්‍ර මහරජ පැසිම් දිගට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේ වෙයි. දකුණු දිගැ විරූඪක මහරජ උතුරු දෙසට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේ වෙයි. පැසිම්දිගැ විරූපාක්‍ෂ මහරජ පෙර දිගට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේ වෙයි. උතුරු දිගැ වෙසවුණු මහරජ දකුණු දෙසට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේ වෙයි. වහන්ස, යම් විටෙක සියලු තව්තිසාවැසි දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත් ද, මහත් දෙව්පිරිස්හු වටා එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත් ද, එකල් හි සතර වරම් මහ රජ දරුවෝ සතර දිගැ හුන්නාහු වෙත්. ~~


මේ සූත්‍රය අනුව සතර වරම් රජවරුන් යනු තව්තිසා දිව්‍යලෝකයේ දිව්‍ය සභාව හෙවත් සුදම් සභාවට සහභාගි වන සතර දිසා අධිපති සතර වරම් දෙවිවරුන් බව කිසිදු සැකයකින් තොරව තහවුරු වෙයි. 


◾ නාග සංයුක්තය.


නාග සංයුක්තයේ සුද්ධික සූත්‍රයේ නාගයන් උපදින ආකාරයන් සතරක් ගැන බුදු රදුන් මෙසේ දේශනා කොට ඇත.


~~ මහණෙනි, මේ නාගයෝනි සතරෙකි. කවර සතරෙක් ද යත්: අණ්ඩජ (බිජුවටින් උපන්) නාගයෝ ය, ජලාබුජ (ගර්‍භාශයෙන් උපන්) නාගයෝ ය, සංසේදජ (තෙතමනෙහි උපන්) නාගයෝ ය, ඕපපාතික (උපපාදුක ව එකවර ම උපන්) නාගයෝ ය යි … මහණෙනි, මේ නාගයෝනි සතර යි. ~~


මේ අනුවත් මෙලෙස නාගයන් යනුවෙන් හඳුන්වන්නේ මනුෂ්‍යන් කොටසක් නොව අමනුෂ්‍ය සත්ව කොට්ඨාශයක් බවට තහවුරු වෙයි.


◾ අච්ඡරියබ්භුත සූත්‍රය 


බෝසතුන් මව් කුස පිලිසිඳ ගත් කල සතරවරම් රජවරුන් පැමින මනුෂ්‍යන් හෝ අමනුෂ්‍යයන් ගෙන් බෝසත් මවට හානියක් නොවනු පිනිස ආරක්ශාවට සතර දෙසින් රැකවල් කරන බව


~~ “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ ගන්නේ වේ ද, එකල මිනිසෙක් වේවයි, නො මිනිසෙක් වේව’ යි, කිසිවෙක් ඒ බෝසත් හෝ බෝසත්මව හෝ නහමක් පෙළාව’ යි, සතරවරම් දෙව්පුත්හු සිවුදිග ආරක්‍ෂා පිණිස ඔහු කරා පැමිණෙතී.” ~~


සතර වරම් රජවරු යනු මනුෂ්‍ය රජවරුන් නම් 

1.) මව්කුස පිලිසිඳ ගත්තේ බෝසතුන් බව ඔවුන් දැනගන්නේ කෙසේද?

2.) තවද වෙනත් රජෙකුගේ බිසවක් පිලිසිඳ ගත් පමනින් මිනිස් රජවරු සතර දෙනෙක් පැමින සතර දිශාවෙන් සිට රැකවල් කිරිම ජුගුප්සාජනක නොවේද?

3.) අමනුෂ්‍යයන් ගෙන් බෝසතුන්ට හා බෝසත් මවට වන හානි නවත්වන්නේ කෙසේද? 

මෙයිනුත් තහවුරු වන්නේ සතර වරම් රජවරුන් යනු සතර දිශා අධිපති සතර වරම් දෙවිවරුන්ම බවයි.


◾ විනය පිටකයේ මහාවග්ග පාලිය.


බුද්ධත්වය ලබා ගැනිමෙන් පසුව තපස්සු භල්ලුක දෙබෑයන් විසින් විළඳ හා මී පිඩු බුදු රදුන්ට පූජා කල අවස්ථාව ගැන මෙසේ සඳහන් වේ.


~~  එකල්හි භාග්‍යවතුන් වහන්සේට “තථාගතයෝ අතින් නො පිළිගණිති. මම වනාහි කුමකින් අත්සුණුත් මීපිඬුත් පිළිගන්නෙම් දැ”යි සිතෙක් වූයේ ය. එකල්හි සතරවරම්මහරජහු තම සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත දැන සිවුදිගින් අවුත් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙයින් අත්සුණුත් මීපිඬුත් පිළිගන්නා සේක්වා”යි ශෛලමය පාත්‍ර සතරක් භාග්‍යවතුන් වහන්සේ අතට එළවූහ. ~~


මේ අනුවත් සතර වරම් රජවරු යනු මනුෂ්‍යන් නම් 

1.) බුදු රදුන් ගේ සිතේ ඇතිවු සිතුවිල්ල තම සිතින් දැන ගැනිම

2) ඒ ක්ෂනයෙන් පාත්‍රා රැගෙන එතනට පැමිනිම 

සිදු කල නොහැකි බව පැහැදිලි වේ.


◾ ගන්ධබ්බ සංයුක්තය 


ගාන්ධර්ව හෙවත් ගන්ධබ්බකායික දෙවියන් ගැන එහි මෙසේ සඳහන් වේ


~~ මහණෙනි, තොපට ගන්‍ධබ්බකායික (ගඳට අරක් ගත්) දෙවියන් දේශනා කරන්නෙමි. එය අසව්.

මහණෙනි, ගන්‍ධබ්බකායික දෙවියෝ කවරහු ද යත්: මහණෙනි මුල්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, හරගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, ඵලගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, සිවිගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පොතුගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පත්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, මල්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පලගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, රසගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, ගඳ ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ. මහණෙනි, මොහු ගන්‍ධබ්බකායික දෙවියෝ ය යි කියනු ලැබෙත්. ~~


මේ අනුව ගාන්ධර්ව යනු මනුෂ්‍ය කොට්ඨාශයක් නොව අමනුෂ්‍ය කොට්ඨාශයක් බව පැහැදිලිව පෙනි යනු ඇත.


◾ ඉහත උපුටා දැක්වු ත්‍රිපිටකයේ කොටස් අනුව සතරවරම් රජවරුන් සහ ඔවුනගේ පිරිස මනුෂ්‍යයන් නොව අමනුෂ්‍ය සත්ව කොට්ඨාශයන් බව සැකයකින් තොරව තහවුරු වන අතරම සතර වරම් රජවරුන් යනු මේ ලංකාවේ රජවරුන් බවටත්, ඔවුන්ගේ පිරිස ලංකාවේ බුද්ධ කාලයේ සිටි ජන කොටස් බවටත් ලෙස හෙල බුදුන් සංගමයේ සමාජිකයන් ගෙන යන හිතලුව කිසිදු සත්‍යතාවයක් නැති ව්‍යාජයක් බවත්

සටහන් කර තබමි.


එමෙන්ම හෙල බුදුන් කන්ඩායම පවසන ලෙස ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනයේ දි ඉහත සූත්‍ර වල සඳහන් වන "චත්තාරො මහා රාජා" යන්න සතර වරම් දෙවි වරුන් ලෙස පරිවර්තනය කිරිමේ කිසිදු වරදක් නැති බව ඉහත කරුනු අනුව පෙනි යන බවද සටහන් කරනු කැමැත්තෙමි.


දැන් හෙල බුදුන් සංගමයට ඉතිරි වී ඇති එකම ගැලවීම ත්‍රිපිටකය බොරු බව පැවසීම පමනය. බෞද්ධ වේශය ගෙන එන මේ අන්‍යාගමික ප්‍රතිරූපකයන්ට එයත් නොහැක්කක් නොවන බව ඉදිරියේදි දැක ගත හැකිවනු ඇත.


මනොජ් කුමාර

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?