බුදු රදුන් ශ්‍රී පාද ලාංඡනය පිහිටවූ මක්කම පිහිටා ඇත්තේ ලංකාවේ ද?

බුදු රදුන් සිරිපතුල පිහිටවූ මක්කම ඇත්තේ ලංකාවේ ද?




හෙළ බුදුන් කණ්ඩායමේ පිරිස් විසින් සමාජ ගත කරන තවත් මතයක් නම් බුදු රජාණන් වහන්සේ විසින් ශ්‍රී පාද ලාංඡනය පිහිටවූ මක්කම නම් ස්ථානය ලංකාවේ පිහිටි ස්ථානයක් බවයි. 

ඔවුන් විසින් බුදු රදුන් ලංකාවේ බවට ගෙන යන සාවද්‍ය මතයට ව්‍යාජ රුකුලක් ලෙසද මෙම කරුණ නොයෙක් අවස්ථාවල ගෙන

හැර පානු දක්නට ලැබෙයි. 


ඉතිහාසය පිළිබඳ යම් මතයක් ඉදිරිපත් කරන්නේ නම් එය ඉතිහාස මූලාශ්‍ර අනුව තහවුරු වන කරුණක් වීම අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. 

එබැවින් මේ මක්කම පිළිබඳ කතාව මූලාශ්‍ර ඇසුරින් විමසා බලමු.


හෙළ බුදුන් කණ්ඩායම ගෙන හැර පාන මක්කම පිහිටවූ බුදු රදුන්ගේ ශ්‍රීපාදස්ථානය පිළිබඳ සටහන කඩයිම් පොත හෙවත් ශ්‍රී ලංකා නගර ගම් පොතේ මෙලෙස හඳුන්වා ඇත.


~~ තවද අප බුදුන් තුන්වන ගමනේ වඩිනා දිනයෙහි කැලනියට හා නර්මදා නම් ගංගාවට හා මක්කමට හා මෙකී ස්ථානයන්ට වැඩ ශ්‍රී පාද පද්ම ලාංඡනය කරවා සමන්තකූට මස්තකයෙහි පිහිටුවා වැඩි හෙයින්ද~~


එනම් මේ සටහන අනුව බුදු රදුන් තුන්වන වර ලංකාවට වැඩි දිනයේ දී සමන්තකූටය මත සිරිපතුල පිහිටුවීමට පෙර නර්මදා නදිය, මක්කම හා කැළණිය යන ස්ථාන වල ශ්‍රී පාදය පිහිටවූ බව සැලකිය හැක.


මීළඟට අප පූජාවලියේ බුදු රදුන්ගේ තුන්වන ලංකාගමනය පිළිබඳ විස්තරය සලකා බලමු.


~~ එයින් නර්මදා නම් ගඟට වැඩ එහි වසන නර්මදා නම් දිව්‍ය නාගරාජයා විසින් පිළිගන්වන ලද දිව්‍යාහාරය සහපිරිවරින් වළඳා, ඕහට බණ වදාරා, බොහෝ නයින් සරණසිල් ගන්වා, එම නාරජහුගේ ආරාධනාවෙන් ඒ ගංතෙර රළින් මුවා වන තැන ඕ හට ශ්‍රිපාදයක් ඔබා එයින් සච්චබද්ධක නම් පර්වතයට වැඩ, එහි පෙර බොහෝ කලක් මිථ්‍යා දෘෂ්ටි ගෙන විසූ සච්චබද්ධක නම් ජටිලයන්ට බණ වදාරා ඔහු අමාමහ නිවන් දක්වා, ඒහිභික්ෂු භාවයෙන් පැවිදි දී, එම සච්චබද්ධක නම් මහතෙරුන්ගේම ආරාධනාවෙන් ඒ ගල මුදුනෙහි ද, ඉටියෙහි එබු හසක් සේ පාදලක්ෂන හා සමග ශ්‍රීපදයක් ඔබා, එයින් මහෝදර නාරජහු මයිල් මිණි ඇසී නම් නාගරාජයාගේ ආරාධනාවෙන් වෙසඟ මැදි පොහෝ දිනයෙහි ලක්දිව් වැඩ, කැලණි මහාසෑය පිහිටි තැන වැඩහිඳ, ඔහු විසින් මවන ලද දිව්‍යමණ්ඩපයෙහි අනර්ඝ වූ දිව්‍යාසන නැගී වැඩ හිඳ, ඔහු විසින්ම දෙන ලද දිව්‍යභෝජනය සහපිරිවරින් වළඳා, බණ වදාරා, එම නාරජහුගෙ ආරාධනාවෙන් කැලණි ගඟ යට ද ඕ හට පාදලංචනයක් දී ~~


මේ විස්තරයේ ද නර්මදා නදිය සහ කැලණිය පිළිබද සඳහන් වුවද මක්කම පිළිබඳ සඳහන් නොවේ. එහි ඒ වෙනුවට සච්චබද්ධක නම් ස්ථානයක් පිළිබඳව සඳහන් කර ඇත. ඒ කෙසේ වුවද නර්මදා සහ සච්චබද්ධක යන ස්ථාන දෙකම ලංකාවේ නොවන බව එම ස්ථාන වලින් පසුව ලංකාද්වීපය ට වැඩම ක බව ඇති සඳහනෙන් පැහැදිලි වෙයි. 

පූජාවලියේ බුදු රදුන් විසින් සමන්ත කූටයේ ශ්‍රීපාද ලාංඡනය පිහිටුවීමෙන් පසුව එන විස්තරය මෙසේයි.


~~ එකෙණෙහි බුද්ධාන්තරයක් මුළුල්ලෙහි ශ්‍රීපාද වියෝගයෙන් ශෝකි වූ ලංකාන්ගනාව නිශ්ශෝකිව, එම විටම පහළ වූ ආකල මේඝජල නමැති අමාදියෙන් ස්නානය කොට, මුළු දිව ව්‍යාප්ත වු ෂඩ්වර්ණ බුද්ධ රශ්මි නමැති අනෙකවර්ණ වස්ත්‍රයන් ධරා ~~


මේ සටහන අනුව සමනල කන්දේ බුදු රදුන් පිහිටවූ ශ්‍රීපාදය ලංකාද්වීපයේ පිහිටවූ ප්‍රථම ශ්‍රී පාද ලාංඡනය බව තහවුරු වෙයි. 

ඉහත කඩයිම් පොතේ සටහන අනුව මක්කම ශ්‍රී පාද ලාංඡනය පිහිටවූයේ සමනල කන්දේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීමට පෙර බැවින්ද පූජාවලිය සටහන අනුව සමනල කන්දේ පිහිටවූ ශ්‍රී පාද ලාංඡනය ලංකාද්වීපයේ පිහිටවූ ප්‍රථම ශ්‍රී පාද ලාංඡනය වන බැවිනුත් මේ සටහන් දෙක අනුව නිගමනය කළ හැක්කේ බුදු රදුන් ශ්‍රී පාද ලාංඡනය පිහිටවූ මක්කම පිහිටා ඇත්තේ ලංකාද්වීපය තුළ නොවන බවයි. 


ඒවිට මතුවන ගැටලුව නම් සමනල කන්දට ප්‍රථම කැලණියේ පිහිටවූ ශ්‍රී පාද ලාංඡනය ලංකාද්වීපය තුළ නොවේද යන්නයි. නමුත් එහිදී ඇති සඳහන අනුව එම ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා ඇත්තේ නාගයන්ට වැඳ පුදා ගැනීම පිණිස කැලණි ගංගා පතුලේ බවයි. එනම් ගඟ පතුලේ නාග ලෝකයේ එම ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා ඇති බැවින් ලංකාද්වීපය තුළ පිහිටවුවක් ලෙස සැලකිය නොහැකි බවයි.


මේ අනුව හෙළ බුදුන් කණ්ඩායම නිතරම රැගෙන එන කඩයිම් පොත සහ පූජාවලියේ ඇති සටහන් අනුව බුදු රදුන් ශ්‍රී පාද ලාංඡනය පිහිටවූ මක්කම ලංකාව තුල පිහිටා නැති බව නිගමනය කළ හැක.


මනෝජ් කුමාර 

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?