පූජනීය ලුම්බිණියේ පුරාවිද්‍යාත්මක කැණීම් ඉතිහාසය

 සිදුහත් බෝසතුන් උපත ලද පූජනීය ලුම්බිණියේ පුරාවිද්‍යා කැණීම්.




ලුම්බිණියේ ඉතිහාසය පසුගිය ලිපි වලින් සාධක සාක්ෂි වලින් පෙන්වා ඇති අතර එය සම්පූර්ණ කිරීම සඳහා එහි සිදුකළ පුරාවිද්‍යා ගවේෂණ පිළිබඳව මෙසේ ඉදිරිපත් කරමි.


1885 වර්ෂයේ ඩන්කන් රිකට්ස් මහතා සහ ඊට පසුව නේපාල ජෙනරාල් Khadga Shameshar විසින් ලුම්බිණි ටැම් ලිපියේ ඉහළ තිබූ රිපු මල්ල ලිපියේ ස්පර්ශ ලාංඡන ලබාගැනීම වර්තමාන පුරාවිද්‍යා ක්‍රම්වේද මුලින්ම ලුම්බිණියේ භාවිතා වූ අවස්ථාවන් වුවත් විධිමත් පුරාවිද්‍යා ගවේශනයන් ලෙස ඒවා සැලකිය නොහැක.


ලුම්බිණියේ මුල්ම පුරාවිද්‍යා කැණීම නේපාල ජෙනරාල් Khadga Shameshar විසින් 1896/97 වර්ෂය සඳහා සිදුකරන ලද අතර ඔහු විසින් ලුම්බිණි ටැම් ලිපියේ යටව තිබූ කොටස කැණීම් කර අශෝක ටැම් ලිපිය නිරාවරණය කර එහි ස්පර්ශ ලාංඡන ලබාගන්නා ලදී.


එම වර්ෂයේ ලුම්බිණි කැණීම් එතකින් අවසන් වන අතර නැවත කැණීමක් සිදුවන්නේ පූර්ණ චන්ද්‍ර මුඛර්ජි මහතා යටතේ 1899 වර්ෂයේ දීය.

එහිදී කරුණු පහක් යටතේ ලුම්බිණිය සනාථ වන බව එම වාර්තාවට පෙරවදන සපයන V.A. ස්මිත් මහතා ප්‍රකාශ කරයි.


1.) රුම්මින් යන ප්‍රාදේශීය නාමය ලුම්බිණි නාමයෙන් බිදී ආ නාමයක් වීම.

2.) අසල ඇති තෙල් නදිය

3.) මහා මයා දේවිය ස්නානය කළ පොකුණ

4.) අශෝක ලිපිය සහිත කුළුණ.

5.) මායා දේවිය, සිදුහත් කුමරු සහ පිරිස ඇතුළත් කැටයම.

යන කරුණු පහයි.



එහිදී මුඛර්ජි මහතා විධිමත් ආකාරයට අශෝක කුළුණ සහ පාදම පිළිබඳව විස්තර කරන අතර එහි කාල පරිච්ඡේද කිහිපයකට අයත් ගඩොල් වලින් වරින් වර නිර්මාණය කර ඇති බව පවසයි.


එම ප්‍රදේශය විධිමත් ආකාරයට සිතියම් ගත කරන ඔහු මායාදේවි විහාරයේ පසින් යටවු පැති බිත්ති හා පාදම් ද කැණීම් කරමින් ඉතා අලංකාර ලෙස කැටයම් කල ගඩොල් වලින් කළ පැති හතකින් යුතු ගොඩනැගිල්ලක අවශේෂ සොයාගෙන වාර්තා කර ඇත.




එසේම එම කාලයේදී කුඩා කඳු ගැටය මුදුනේ අවිධිමත් ලෙස ඉදිකර තිබූ ගොඩනැගිල්ල අතීත ගොඩනැගිලි වල නටබුන් මත ඉදිකර ඇති බව ද විස්තර කරයි.



එම ගොඩනැගිල්ල ඇතුලත ඇති මහාමායා දේවිය සල්/අශෝක වෘක්ෂයේ අත්ත අල්ලාගෙන සිටින ආකාරයත්, සිදුහත් කුමරු සහ පිරිසත් සිටින කැටයම (අඩි 5 1/2 - 3 1/2) ගැන විස්තර කරයි. එම කැටයමේ ශිල්පීය ක්‍රම අනුව අශෝක රජු ගේ කාලයට අයත් බව ද තීරණය කරයි. එමෙන්ම මායාදේවි ය ගේ හිස කොටස කැඩී වෙනම තිබූ බවත් එය නැවත සවිකළ බවත් ඔහු එහිදී පවසයි.





තවද අවට ඇති ස්ථූප, පැති බැමි දළ වශයෙන් කැණීම් කර විස්තර කරන ඔහු ටෙරාකොටා බුද්ධ ප්‍රතිමාවක් ද එහිදී සොයාගන්නා අතර ඔහුට ලැබී තිබූ සීමිත කාලය මේ අග්‍රගණ්‍ය ස්ථානය කැණීම් කිරීමට ප්‍රමාණවත් නොවන බව පවසා අනාගත ගවේෂණයක් මගින් නැවත කැණීම් කර සංරක්ශනය කරන තුරු ඔහු කැණීම් කළ ස්ථාන නැවත වසා දැමූ බවද සඳහන් කරයි.





අනතුරුව දශක තුනකට පමණ පසුව 1933 - 1939 කාලයේදී ජෙනරාල් Keshar Shamsher Rana විසින් ප්‍රධාන කැනීමක් සිදු කළ නමුත් එහිදී විධිමත් වාර්තා කිසිවක් සිදු නොකර ඇති අතර සම්පූර්ණ ප්‍රදේශයම වැසි තිබූ පස් තට්ටු ඉවත් කර ඇති අතර විධිමත් ක්‍රමවේද භාවිතා නොකල නිසා පුරාවිද්‍යා ස්මාරක වලට ඉමහත් හානියක් සිදුවී ඇත. මායාදේවි විහාරය හා වටේ තිබූ ස්ථූප වලට දැඩි හානි සිදුවී ඇති අතර මයාදෙවිය ස්නානය කළ පොකුණ වටා බැම්ම ද ඔහු විසින් අලුතෙන් ඉදිකර ඇත.



අනතුරුව ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ නේපාල රජය එකතුව 1962 වර්ෂයේදී Debala Mitra මහත්මිය යටතේ විධිමත් කැණීමක් අශෝක කුළුණේ බටහිර දෙස සිදු කළ අතර 1933 කළ කැණීම් වලදී සොයාගත් පුරාවස්තු ලැයිස්තු ගත කිරීමත් සිදු කර ඇත.



මින් පසු ලුම්බිණිය වර්තමාන ආකාරයෙන් සංරක්ශනය වීමට මුල්වු වැදගත්ම සිදුවීම ලෙස 1972 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංගමයේ ලේකම් ජෙනරාල් U Thant මහතා ලුම්බිණියේ සංචාරය කිරීම දැක්විය හැක. එයින් පසු ලුම්බිණි සංවර්ධන කමිටුවක් පත් කිරීමට කටයුතු කර ඒ මගින් අංගසම්පූර්ණ සංරක්ෂ්න සැලසුමක් සකස් කර ඒ අනුව කටයුතු කිරීමට තීරණය කර ඇත.



අනතුරුව  1970-71 වර්ෂවල නේපාල පුරාවිද්‍යා දෙපර්තමේන්තුව සිදු කළ කැණීම් මගින් ලුම්බිණි ග්‍රාමය පිහිටි ස්ථානය සොයාගැනීම ප්‍රධාන කරුණක් වෙයි.


මීළඟට 1975 සිට 1983 දක්වා Babu Krishna Rajil මහතා ගේ ප්‍රධානත්වයෙන් 1933 කැණීම් මගින් විනාශ කර තිබූ ස්ථාන අලුත්වැඩියා කර විධිමත්ව සංරක්ශනය කර ඇත. ඉන්පසු Tara Nanda Mishra විසින් 1984 -85 කාලයේදී තවදුරටත් කැණීම් කරමින් ක්‍රිපූ 700 -200 පමණ සිට ක්‍රිව 9-14 අතර කාලය දක්වා පාංශු ස්ථර වෙන් වෙන්ව හඳුනා ගන්නා ලදී.




අනතුරුව 1990 -96 අතර කාලයේදී ජපාන බෞද්ධ ෆෙඩරේශනය සහ ලුම්බිණි සංවර්ධන කමිටුව එක්ව ප්‍රධාන කැණීමක් සිදුකළ අතර මායාදේවි විහාරයේ අලුතෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ල ඉවත් කර පාදම දක්වා කැණීම් සිදුකරන ලදී. එහිදී පාදම ක්‍රිපූ තුන් වන සියවසට කාල නිර්ණය කළ පිළිස්සූ ගඩොල් වලින් නිර්මිත බව සොයාගන්නා ලදී.



එසේම මෙහිදී සිදුවූ අතිශයින් වැදගත් සොයාගැනීම වූයේ සිදුහත් බෝසතුන් ඉපදුන ස්ථානය නිශ්චිතවම ලකුණු කරමින් පිහිටුවා තිබූ සලකුණු ගල (marker stone) සොයාගැනීමයි.



මේ ගවේෂණ වලින් ස්ථිරවම ලුම්බිණිය තහවුරු වූ අතර 1997 දී ලෝක උරුම ස්ථානයක් ලෙස යුනෙස්කෝව විසින් නම් කිරීම සමස්ත ලෝක බෞද්ධ ජනතාවටම වැදගත් අවස්ථාවක් වෙයි.


2001 වර්ෂයේදී යුනෙස්කෝ ආයතනය විසින් මායාදේවි විහාර සංකීර්ණය සහ ලුම්බිණි ග්‍රාමය ඇතුළත් ප්‍රදේශයේ පුළුල් පාරිසරික සහ භූවිද්‍යාත්මක ගවේෂණය ක් සිදුකර තොරතුරු එක්රැස් කරන ලද අතර පොළව යට තවමත් කැණීම් නොකළ ව්‍යුහයන් කිහිපයක් ද සොයාගන්නා ලදී.


2002 වර්ෂයේදී මායාදේවි විහාරයේ නටබුන් වට කරමින් ආරක්ෂා කිරීමට වර්තමානයේ පවතින ස්ථිර ගොඩනැගිල්ල ඉදි කරන ලද අතර සලකුණු ගල (marker stone) වෙඩි නොවදින ආවරණයක් තුළ සුරක්ෂිත කරන ලදී.



යුනෙස්කෝ ආයතනය සහ නේපාල රජය ජපානයේ ආධාර යටතේ ලුම්බිණිය තවදුරටත් පරිපූර්ණ සංවර්ධනයට සහ සංරක්ශනය ට 2010-2013 අතර සැලසුම් සකස් කර කැණීම් සිදුකර සංරක්ශනය කරන ලදී.


එහිදී Durham විශ්වවිද්‍යාලය අනුබද්දිතව එසේ සිදුකළ ගවේෂණ මඟින් ක්‍රිපූ 1300 පමණ කාලයේ සිට ක්‍රිව 6 වන සියවස පමණ කාලය දක්වා මේ ප්‍රදේශයේ මානව ජනාවාස පැවැති බව කාලනිර්ණය මගින් තහවුරු කර ඇත.


එසේම මායාදේවි විහාර භූමියේ තවදුරටත් කළ කැණීම් මගින් පාංශු ස්ථර වල ක්ෂුද්‍ර සැකැස්ම අධ්‍යනය මගින් ඉතා වටිනා තොරතුරු අනාවරණය කරගැනීමට ද ඔවුන් සමත් වි ඇත.


මායාදේවි විහාරය ක්‍රිපූ හයවන සියවසේ මැද භාගය පමණ කාලයේදී ඉදිකිරීම ආරම්භ කර ඇති බවට කාලනිර්ණය කර ඇති අතර මුලින්ම ලි වලින් තැනු වැටක් සහ ඒ මැද පිහිටි පුරාණ ශාකයක විය හැකි මුල් හඳුනා ගෙන ඇත. එසේම එම ලි වැට ට පිටතින් අඟුරු සහ බඳුන් කැබලි සොයාගැනීම මගින් එහි වන්දනාමාන කටයුතු එම කාලයේදීම ආරම්භ වන්නට ඇති බවත් තහවුරු කර ඇත. 

අනතුරුව අශෝක යුගයට පෙර කාලයේදීම මේ ලි වැට ගඩොල් වලින් කළ වැටක් බවට පරිවර්තනය කර ඇත.



මින් පසු එළඹෙන අශෝක යුගයේදී කළ ඉදිකිරීම් රාශියක් හඳුනාගෙන ඇති අතර මායාදේවි විහාරය අදියර දෙකකින් නවීකරණය කර ඇති අතර ඒ බව කාලනිර්ණය මගින් තහවුරු කර ඇත.


අනතුරුව ශුන්ග රාජ සමයේදී පමණ නැවතත් මෙහි අලුත්වැඩියා සහ ඉදිකිරීම් සිදුවී තිබේ.


මීළඟට කුෂාන් රජ වංශ සමයේදී කීපවරක්ම නැවතත් ඉදිකිරීම් සහ අලුත්වැඩියා සිදුකොට ඇති බව සාධක සොයාගෙන ඇත.


අනතුරුව පූර්ණ චන්ද්‍ර මුකර්ජී මහතා විසින් සොයාගත් පැති සතකින් යුත් විහාරය ගුප්ත රාජ සමයේදී අවසානයට ඉදිකර ඇත.


මේ ආකාරයට ක්‍රිපූ හයවන සියවසේ සිට ගුප්ත යුගය දක්වා අඛණ්ඩව වැඩි දියුණු කරමින් පැවති විහාරයක් බවට පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි මගින් තහවුරු කර ඇති ලුම්බිණිය බිඳිය නොහැකි සාධක සමගින් සිදුහත් බෝසතුන් උපත ලද පූජනීය භූමිය බවට යුග ගණනක් හරහා ලොව පුරා බෞද්ධයන් ගේ වන්දනාවට පාත්‍ර වී ඇත.


ලුම්බිණිය යනු ඇතැමෙක් කියන පරිදි සුද්දන් විසින් නිර්මාණය කළ ස්ථානයක් නොවන බවත් ලොව පුරා විද්වතුන් සහ බෞද්ධයන් පිලිගන්නා විධිමත් විද්‍යාත්මක සාධක සාක්ෂි වලින් මනාව තහවුරු වන සහ ලිඛිත ඉතිහාස සාක්ෂි සමග මැනවින් ගැලපෙන සිදුහත් බෝසතුන් උපත ලද පරම පූජනීය ස්ථානය බව කිව යුතුය. 


එසේම මෙතෙක් ලිපි වලින් පෙන්වාදුන් සාධක සාක්ෂි කිසිවක් නොමැතිව ඊනියා සමාපත්තියෙන් දුටුවා යැයි ලුම්බිණිය ලංකාවේ බව පවසන පිරිස ගෙනයන බොරුව ද ඔබසැම මැනවින් තේරුම් ගන්නට ඇතැයි සිතමි.


ලුම්බිණිය පිළිබඳව ගෙන යන ව්‍යාජ මත වලට සාධක සාක්ෂි සමග සියලු පිළිතුරු ලබාදෙමින් කළ ලිපි මාලාව මෙයින් අවසන් වෙයි.


තෙරුවන් සරණයි.


මූලාශ්‍ර.

1.) Annual progress reports of Archeological survey, N.W.P. and OUDH circle - 1894 - 1898

2.) A report on a tour of exploration of the Antiquities in the Tarai, Nepal the region of Kapilavastu - Babu Purnachadra Mukharji

3.) The discovery of Lumbini - Harry Falk

4.) The sacred garden of Lumbini - UNESCO report


Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?