ලුම්බිණියේ ඉතිහාසය 2 කොටස

 පළමු කොටස හා සම්බන්ධය

අනතුරුව ඉන්දීය උප මහාද්වීපය සිය අණසකට නතුකරගත් බ්‍රිතාන්‍යය එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් ක්‍රමයෙන් හඳුනාගත් අතර ලුම්බිණිය සහ කපිලවස්තු නුවර සොයාගැනීම පිළිබඳව මුල්ම උත්සාහය වර්ෂ 1831 දී J.H. Klaproth විසින් ආරම්භ කර ඇත.

එසේම ඉන් පසුව ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා ද චීන භික්ෂූන් වහන්සේලා ගේ වාර්තා පදනම් කරගෙන ලුම්බිණිය සහ කපිලවස්තුව සොයා ගැනීමට උත්සාහ ගත් නමුත් මේ උත්සාහයන් සියල්ල අසාර්ථක වූ අතර දහනම වන සියවසේ අග දශකය වනතුරු ලුම්බිණිය සහ කපිලවස්තු නගරය සොයාගැනීමට ගත් උත්සාහයන් සාර්ථක නොවීය.

නමුත් කපිලවස්තු පුරය සහ ලුම්බිණිය පිහිටිය යුතු ප්‍රදේශය ලෙස ඉන්දියාවේ ගොරොක්පූර් සහ නේපාල Tarai ප්‍රදේශ ඇතුළත් කොටස විය යුතු බවට ඒ පිළිබඳ අවධානය යොමු කළ ගවේශකයන් බොහෝ දෙනෙකු 19 වන සියවසේ අග දශකය වන විට අනුමාන කර තිබිණි.

එසේම ලුම්බිණියේ ඇති අශෝක කුළුණ (ලුම්බිණිය බව නොදැන) පිළිබඳව ප්‍රදේශයේ වතු හිමියකු ලෙස සිටි ඩන්කන් රිකට්ස් මහතා විසින් V.A. ස්මිත් මහතා වෙත 1885 දී දන්වා ඇත.

ඒ බව රාජකීය ආසියාතික සංගමයේ 1897 වාර්තාවට ලිපියක් යොමු කරන V.A. ස්මිත් මහතා සඳහන් කරන අතර ඊට වර්ෂ 12 කට පමණ පෙර (එනම් 1885) ඩන්කන් රිකට්ස් මහතා එම කුළුණ ගැන තමන්ට පැවසූ බවත් පසුව එහි ඉහල කොටසේ තිබූ ලිපියක (රිපූ මල්ල ලිපියේ) ස්පර්ශ ලාංඡන තමා වෙත ඒවා තිබූ බවත් පවසයි. නමුත් එහි සඳහන අනුව එහි වැදගත් යමක් නොතිබූ බැවින් ඒ ගැන නොසලකා හැරී බවද ප්‍රකාශ කරයි.

එමෙන්ම නේපාල ජාතිකයන් ද රුම්මීන්දෙයි හි මෙම අශෝක කුළුණ පිළිබඳව දැන සිටි අතර නේපාල palpa හි ආණ්ඩුකාර Genral Khadga Shameshar විසින් එම කුළුණේ ඉහළ කොටසේ තිබූ සෙල් ලිපියේ ස්පර්ශ ලාංඡන ලබාගෙන Gorokpur හි කොමසාරිස් වූ Dr William Hoey වෙත යවා තිබූ අතර ඔහු විසින් ද එම කොටසේ වැදගත් යමක් නොතිබූ බැවින් එය ගැන සැලකිලිමත් වී නොමැත.



එබැවින් ලුම්බිණිය පිළිබඳව වසර ගණනාවකට පෙර සොයාගැනීමට තිබූ අවස්ථාවන් දෙකක් මෙලෙස අවාසනාවන්ත ලෙස මගහැරී ගොස් ඇති අතර කුළුණේ යට කොටසේ තිබූ අශෝක රජුගේ ටැම් ලිපිය ඒ වන විටත් කාලාන්තරයක් තිස්සේ තැන්පත් වු පස් වලින් වැසී තිබීම මීට ප්‍රධාන හේතුවක් වෙයි.

අනතුරුව 1893 වර්ෂයේ මාර්තු මාසයේ දී නේපාල Tarai ප්‍රදේශයේ දඩයම් චාරිකාවක නිරත වූ නේපාල ජාතික නිලධාරියකු වූ මේජර් ජස්කාරයින් සින් විසින් නිගාලි සාගර් ප්‍රදේශයේ පිහිටා තිබූ, ප්‍රාදේශික වැසියන් විසින් භීමසේන ගේ දුම් පයිප්පය යන නමින් හැඳින්වූ අශෝක කුලුන පිළිබඳව නේපාල රජයට වාර්තා කරන ලද අතර ලුම්බිණිය සහ කපිලවස්තු සොයාගැනීමට නව ආරම්භයක් ලබාදීමට එය සමත්විය.

 



මේ කුළුණ පිළිබඳව ගවේෂණය කිරීමට නේපාල රජය ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඉල්ලූ අතර එම ගවේෂණය 1894/95 වර්ෂයේ දී ඇන්ටන් ෆියුහර් මහතා විසින් සිදුකර Archeological survey Department of NWP and OUDH circle වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.

එම ගවේෂණය ආරම්භයට පෙර කුළුණ පිළිබඳ තොරතුරු ලැබුණු බෙංගාලයේ හමුදා වෛද්‍යවරයෙකු සහ පුරාවිද්‍යා ගවේෂකයකු ලෙස සේවය කළ Dr Waddel මහතා, ඇන්ටන් ෆියුහර් මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම කුළුණ සහ බුදු රදුන් ගේ ජන්ම භූමිය අතර සම්බන්ධයක් ඇතැයි යන සිය නිගමනය දන්වා ඇති නමුත් ඇන්ටන් ෆියුහර් මහතා එයට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

එසේම එම ගවේෂණයෙන් පසුවද කුළුණේ තිබූ අශෝක ලිපිය පිළිබඳව විස්තර ඉල්ලා Dr Waddel යොමු කළ ලිපියට ද ඇන්ටන් ෆියුහර් ප්‍රතිචාර දක්වා නොමැත.

එම නිගාලි සාගර් අශෝක කුළුණේ තිබූ ලිපිය අනුව එය කෝණාගමන බුදු රජාණන් වහන්සේ උපන් ස්ථානය සිහිවීම පිණිස අශෝක රජු විසින් කළ කුළුණ බව තහවුරු වූ අතර, එය වියානාවේ සිටි ඇන්ටන් ෆියුහර් ගේ ගුරුවරයා වූ මහාචාර්ය බුහ්ලර් විසින් වාර්තාවක් මගින් ප්‍රසිද්ධ කරන ලදී.




එම වාර්තාව දුටු වහාම Dr Waddel මහතා එම කුළුණ සමග චීන භික්ෂූන් වහන්සේලා ගේ වාර්තා අනුව කපිලවස්තු සහ ලුම්බිණිය පිහිටි ස්ථාන අතර සම්බන්ධය වටහා ගත් අතර රාජකීය ආසියාතික සංගමයේ 1896 වර්ෂයේ සැසිවාරය ට ලිපියක් යොමු කරමින් කපිලවස්තු සහ ලුම්බිණිය සොයාගැනීමට ආරම්භක ස්ථානයක් ලෙස එහි ඇති වැදගත්කම සඳහන් කළේය.

නමුත් රාජකීය ආසියාතික සංගමය එම ලිපිය ඊළඟ වර්ෂය සඳහා කල් දැමූ බැවින් කලකිරුණු Dr Waddel මහතා සිය මතය පුවත් පත් මගින් ප්‍රසිද්ධ කරන ලදී.

පුවත් පත් මගින් මෙම කරුණ ප්‍රසිද්ධ වීමත් සමග ඒ පිළිබඳව විශාල උනන්දුවක් ඇති වූ අතර ආසියාතික සංගමයට Waddel මහතා ගේ ලිපිය යළි සලකා බැලීමට සිදුවිය.

එමෙන්ම මෙහිදී Waddel මහතා ඉතා වැදගත් කරුණක් මතුකොට දක්වයි. එනම් වසර 200- 300 පමණ පැරණි ටිබෙට් ලාමා වරුන්ට අයත්ව තිබූ බුදු රදුන්ට සම්බන්ධ ස්ථාන වැඳ පුදා ගැනීමට අදාලව ලියු සංචාරක මාර්ගෝපදේශ සහිත අත් පොතකි.

මෙයින් ගම්‍ය වන වැදගත් කරුණ නම් බුදු රදුන්ට අදාල ස්ථාන නිර්මාණය කරනු ලැබූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් බවට වන චෝදනාව පදනම් විරහිත බවත්, බ්‍රිතාන්‍යයන් පැමිණීමට වසර දෙතුන් සියයකට කලිනුත් ටිබෙට් ජාතිකයන් එම ස්ථාන වන්දනා කිරීමට සංචාරක අත් පොත් පවා ලියා තිබූ බවයි. 

Dr Waddel මහතා විසින් මේ ආකාරයට ලුම්බිණිය සහ කපිලවස්තු පුරය පිළිබඳව නැගූ හඬ නිසා, බෙංගාල රජය, නේපාල රජයේ අවසරය මත 1896/97 වර්ෂය සඳහා Dr waddel මහතා ගේ මූලිකත්වයෙන් කපිලවස්තු නුවර සහ ලුම්බිණිය සොයා නිගාලි සාගර් ඇතුළු නේපාල Tarai ප්‍රදේශයේ සති හයක පුරාවිද්‍යා ගවේෂණය ක් සඳහා සියලු කටයුතු සූදානම් කරන ලදී.




නමුත් අවසාන මොහොතේදී අවාසනාවන්ත ලෙස හමුදා වෛද්‍යවරයකු ලෙස සේවය කළ Dr Waddel මහතා වෙනුවට ආදේශකයකු සොයා ගැනීමට නොහැකි වීම නිසා ඔහුට මෙම ගවේෂණය ට සහභාගී වීමට නිවාඩු අනුමත නොවූ බැවින් ඔහු වෙනුවට ඇන්ටන් ෆියුහර් මහතා පත් කරන ලදී.

එලෙස ලුම්බිණි ටැම් ලිපිය සොයාගත් 1896/97 ගවේෂණය සඳහා ඇන්ටන් ෆියූහර් මහතා සම්බන්ධ වීම අවසන් මොහෙතේ සිදුවූ අහඹු සිදුවීමක් බව මෙහිදී අවධාරණය කළ යුතුයි.

එසේම මෙම ගවේශනය සඳහා නේපාල රජය කොන්දේසි පැනවූ අතර ඇන්ටන් ෆියුහර් උපදෙස් සැපයීම පමණක් සිදුකළ යුතු බවත් අවශ්‍ය කටයුතු නේපාල ආණ්ඩුකාර General Khadga Shameshar විසින් සිදුකරනු ඇති බවත් දන්වා ඇත.




එසේම පසුව හෙළි වූ තොරතුරු අනුව General Shameshar,  Dr Waddel ගේ නිගමන පිළිබඳව දැනුවත්ව සිට ඇති අතර නිගාලි සාගර් කුළුණේ සේම ලුම්බිණි කුළුණ (ඒ වනවිට Padariya/ rummindei) මතද අශෝක ලිපියක් තිබීමේ ඉඩකඩ බොහෝ වැඩි නිසා එය කැණීම් කිරීමේ අවසරය නේපාල රජයෙන් ලබාගෙන   තිබී ඇත.

ගවේෂණය සඳහා පිටත් වූ ඇන්ටන් ෆියුහර් මහතා නිගාලි සාගර් වල ඉතිරි කැණීම් කටයුතු සිදු කර කපිලවස්තු පුරය සොයාගැනීමේ ඉමහත් බලාපොරොත්තුවකින් පසු වුවත් එහි ළඟාවු වහාම Genaral Shameshar විසින් Padariya ප්‍රදේශයේ තිබූ සිය කඳවුර වෙත වාර්තා කරන මෙන් ඔහුට දන්වා යවන ලදී.




සිය වාර්තාවේ මෙම හමුව වාසනාවන්ත අහම්බයක් ( by lucky chance) ලෙස ඇන්ටන් ෆියුහර් සටහන් කොට ඇතත් ජෙනරාල් වරයා විසින් ඔහුට කළ කැඳවීම අනුව ඔහු එහි ගිය බව තහවුරු වි ඇත.

එහිදී ජනරාල්වරයා විසින් එම කඳවුර ආසන්නයේ ඒ වන විටත් කැණීම් කරමින් තිබූ රුම්මින්දෙයි අශෝක කුලුන ඔහුට පෙන්වන ලදී.

එහිදී ඇන්ටන් ෆියුහර් මෙම කුළුණ යට කොටසේ අශෝක ලිපියක් තිබිය හැකි බව ජනරාල්වරයාට ප්‍රකාශ කර ඇත.

එම ප්‍රකාශයට හේතුව ලෙස නිගමනය කළ හැක්කේ ඒ ආසන්න ප්‍රදේශයේ තිබූ නිගාලි සාගර් කුළුණේ ඉහළ කොටසේ රීපු මල්ල රජුගේ ලේඛනයක් තිබීමත් යට කොටසේ අශෝක ලිපිය තිබීමත්, කැණීම් කරන රුම්මින්දේයි කුළුනේත් ඉහළ කොටසේ රීපූ මල්ල රජුගේ ඊට සමාන ලිපියක් තිබීමත් ලෙස සැලකිය හැක.

මේ අනුමානය General Shameshar විසින් ද ඒ වන විට සිදුකර තිබූ බැවින් ඒ වන විට කුළුනේ යටවී ඇති කොටස මතුකරන කැණීම් ආරම්භ කර තිබිණි.

අනතුරුව ඇන්ටන් ෆියුහර් මහතා එම ස්ථානයෙන් නික්ම නිගාලි සාගර් වෙත පිටත්ව ගොස් ඇත. ඒ සඳහා හේතුව ලෙස සැලකිය හැක්කේ ලුම්බිණිය එම ස්ථානයේ ඇතැයි ඔහු අනුමාන නොකිරීම ත්, නිගාලි සාගර් කැණීම සම්පූර්ණ කර කපිලවස්තු පුරය සොයාගැනීම ඊට වඩා වැදගත් කොට ඔහු සැලකීමත් ය.

ලුම්බිණිය එම ස්ථානයේ ඇතැයි ඔහු අනුමාන කළේ නම් කිසිවිටක ඔහු එතනින් ඉවත්ව නොයනු ඇති බව පසුව ඔහුගේ ක්‍රියාකලාපය අනුව පැහැදිලි වෙයි.

ඇන්ටන් ෆියුහර් එම ස්ථානයෙන් පිටත්ව යෑමෙන් පසු දිගටම කුළුණේ කැණීම සිදුකළ ජෙනරාල් වරයා එහි යට කොටසේ තිබූ අශෝක ලිපිය මතුකර ගැනීමට සමත් විය.

එම අවස්ථාවේ වතු අධිකාර ඩන්කන් රිකට්ස් මහතා එහි රැඳී සිටීමට වාසනාවන්ත විය.




ජෙනරාල් වරයා විසින් එම ලිපියේ ස්පර්ශ ලාංඡන දෙකක් ලබාගත් අතර ( ඒ සඳහා අවශ්‍ය උපකරණ ඔහුට ලබාදී ඇත්තේ පෙර අවස්ථාවක මෙම කුළුණේ ඉහළ තිබූ රිපූ මල්ල සෙල් ලිපියේ ස්පර්ශ ලාංඡන යොමු කළ William Hoey මහතා විසිනි),

පසුව එම ස්ථානයට නැවත පැමිණි ඇන්ටන් ෆියුහර් විසින් නිරාවරණය කර තිබූ සෙල් ලිපිය කියවා ඇති අතර එහි සටහන අනුව අශෝක රජු විසින් බුදු රදුන්ගේ උපන් ස්ථානය සලකුණු කිරීමට කරවූ කුළුණ බව වටහා ගැනීමෙන් සිය නොසැලකිල්ල නිසා බෞද්ධ ලෝකයේ අග්‍රගණ්‍ය පූජනීය ස්ථානය යළි සොයාගැනීමේ ගෞරවය තමාගෙන් ගිලිහී ඇති බව සිහි කරන්නට ඇතුවා නිසැකය.




පසුව ජෙනරාල් වරයා විසින් ලබාගත් ස්පර්ශ ලාංඡන ඉල්වාගත් ඔහු එහි අන්තර්ගතය තහවුරු කරගැනීම සඳහා වියානාවේ සිය ගුරුවරයා වන මහාචාර්ය බුහ්ලර් වෙත යොමු කර ඇත.



කරුණු මෙසේ බැවින් ලුම්බිණිය ටැම් ලිපිය සොයාගැනීම තබා එහි කැණීම් කටයුතු කිර්ම වත් ඇන්ටන් ෆියුහර් මහතා විසින් සිදු කර නොමැති බව පැහැදිලි වන අතරම, ඔහු විසින් සිදු කළේ, ජෙනරාල් Khadga Shamesar විසින් කැණීම් කර, සොයාගෙන, ස්පර්ශ ලාංඡන ලබාගත් ටැම් ලිපිය පසුව පැමිණ කියවීම පමණක් වන අතරම, ලුම්බිණි ටැම් ලිපිය ඔහු විසින් ව්‍යාජ ලෙස කෙටවු එකක් බවට ගෙන යන මතය කිසිදු පදනමක් රහිත අසත්‍යයක් බවද, ඔහුට ඒ සඳහා කිසිදු ඉඩක් නොතිබූ බවද පැහැදිලි වෙයි.

ලුම්බිණි ටැම් ලිපිය කැණීම් කර අශෝක ලිපිය සොයාගැනීමෙන් පසුව ජෙනරාල් වරයා විසින් එම වර්ෂයේ හටගෙන තිබූ දුර්භික්ෂය නිසා ගවේෂණය සහ කැණීම් කටයුතු ඉදිරියට කරගෙන යෑමට අපහසු බැවින් නවතා දැමීමට කටයුතු කළ බව වාර්තා වල සඳහන් වෙයි.

ඒ නිසා ඇන්ටන් ෆියුහර් ගේ කපිලවස්තු නුවර සොයාගැනීමේ සිහිනය ද ඒ සමගම බිඳ වැටුනි.

එබැවින් ආපසු හැරී පැමිණ, 1896/97 වර්ෂය සඳහා සිය වාර්තාව ඉදිරිපත් කරන ඇන්ටන් ෆියුහර් මහතා, Dr waddel ගේ දායකත්වය ගැන කිසිදු වැදගත් සටහනක් නොකර, ටැම් ලිපිය කැණීම් කොට, සොයාගෙන, එහි ස්පර්ශ ලාංඡන ලබාගත් General Khadga Shameshar වෙත ඒ පිළිබඳ නිසි ගෞරවය ලබා නොදී සියලු ගෞරව තමන් සතුවන ආකාරයට වාර්තාව සකස් කර ඇත.

එසේම Monograph on Buddha Shakyamuni’s birth place නම් වාර්තාව ද ඔහු විසින් ඉදිරිපත් කළ අතර එහි කිසිදු ස්ථානයක ලුම්බිණි කුළුණ කැණීම් කිරීම ගැන හෝ තමන් විසින් ටැම් ලිපිය සොයාගත් බවක් හෝ General Khadga Shameshar හා Dr Waddel කළ කාර්යයන් පිළිබඳව සටහන් කර නැත. ( V.A. ස්මිත් මහතා සිය විමර්ශන වාර්තාවේ දී ප්‍රකාශ කළේ එම වාර්තාව පුරාවිද්‍යාත්මක කරුණු ඉතාම ස්වල්පයක් ඇති බෞද්ධ සාහිත්‍යයෙන් උපුටා ගත් කරුණු රාශියක් සහිත සාහිත්‍ය වාර්තාවක් බවයි).

මෙම වාර්තාවන් ප්‍රසිද්ධ වීමත් සමග ලුම්බිණිය සහ කපිලවස්තු නුවර ( කපිලවස්තු පුරය ඒ වන විට සොයාගෙන පාවා නොතිබිණි) සොයාගැනීමේ ගෞරවය ඇන්ටන් ෆියුහර් මහතා වෙත අසාධාරණ ලෙස හිමිවන්නට වූ අතර Dr Waddel මහතා වහාම සිය විරුද්ධත්වය ප්‍රකාශ කර සාධාරණය ඉල්ලා සිය සටන ආරම්භ කරන ලදී.

ඇන්ටන් ෆියුහර් විසින් තමාට එරෙහිව එල්ලවූ චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් Waddel මහතා සිය විරෝධය දිගටම පල කිරීමත්, බුදු රදුන්ගේ ධාතු ලබාදෙන බව පවසා ඔහු සිදුකළ වංචාව පිළිබඳව පැමිණිලි ලැබීමත් ඇතුළු ඇන්ටන් ෆියුහර් ගේ වෙනත් දෝෂ සහගත වාර්තා පිළිබඳ ගැටළු මතුවීමත් සමග ඔහුට එරෙහිව විමර්ශනයක් Government of North western provinces and OUDH මගින් ආරම්භ කළ අතර එය ඉන්දීය සිවිල් සේවයේ ජේෂ්ඨ නිලධාරියකු, පුරාවිද්‍යා ගවේෂකයකු මෙන්ම මහේස්ත්‍රාත් වරයකු වූ V.A. ස්මිත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

 

මෙහිදී ඔහුට එල්ලවූ ප්‍රධාන චෝදනාව plagiarism හෙවත් වෙනත් අය විසින් සොයාගත් දේ තමන් සොයාගත් ලෙස ඉදිරිපත් කිරිම හා වෙනත් අයගේ පර්යේෂණ වාර්තා කොපි කර ඉදිරිපත් කිරීමයි. එසේම කෝණාගමන චෛත්‍ය සහ ශාක්‍යයන් පිළිබඳ සෙල් ලිපියක් වැනි පුරාවිද්‍යාත්මක සාක්ෂි පිළිබඳ මවාගත් බොරු වාර්තා කිරීමද චෝදනාවක් ලෙස ඉදිරිපත් විය.

 

විධිමත් විමර්ශනයෙන් අනතුරුව ඔහු විසින් ඉදිරිපත් කළ 1897/98 වාර්ෂික ප්‍රගති වාර්තාවේ (කෝණාගමන චෛත්‍ය සහ ශක්‍යයයන් ගේ සොහොන් පිළිබඳ කැණීම් වාර්තාව) දෝෂ සහිත තැන් උපුටා දක්වන ලද අතර ඔහු විසින් ඉදිරිපත් කළ Monograph on Buddha Shakyamuni’s birth place in the Nepalese Tarai නම් වාර්තාව භාවිතයෙන් ඉවත් කර විනාශ කිරීමට තීරණය කරන ලදී.

මේ කිසිදු අවස්ථාවක ලුම්බිණි ටැම් ලිපිය පිළිබඳව හෝ ලුම්බිණිය පිළිබඳව හෝ කිසිදු සැකයක් හෝ චෝදනාවක් ඉදිරිපත් නොවු අතර ටැම් ලිපිය සොයාගැනීම ඇන්ටන් ෆියුහර් විසින් සිදු නොකළ බවත් එහි ගෞරවය General Khadga Shameshar මහතා ට හිමිවිය යුතු බවත්, ඇන්ටන් ෆියුහර් සිදු කළේ ජෙනරාල් විසින් සොයාගෙන ස්පර්ශ ලාංඡන ලබාගත් සෙල් ලිපිය කියවීම පමණක් බවත් මේ කරුණු වලින් පැහැදිලිව තහවුරු වෙයි.

අවසානයේදී ඔහුට එල්ල වූ චෝදනා වලට ඇන්ටන් ෆියූහර් වරද පිළිගත් අතර සේවයෙන් ඉවත් කිරීමට පෙර 1898 ඔක්තෝබර් 28 දින සිය කැමැත්තෙන් ඉල්ලා අස් විය.

අනතුරුව 1899 වර්ෂයේදී පූර්ණචන්ද්‍ර මුඛර්ජි මහතා V. A. ස්මිත් මහතා ගේ උපදෙස් පරිදි නේපාල tarai ප්‍රදේශයේ ගවේෂණය ඉදිරියට ගෙන යමින් ලුම්බිණියේ සහ කපිලවස්තු පුරයේ කැණීම් සිදුකර තහවුරු කිරීම සිදු කලේය.

එසේම ඉන්පසුව ගතවූ කාලයේදී ලෝකයේ බෞද්ධ රටවල් සියල්ල එකතුව පාලනය වන කමිටුවක් ලුම්බිණිය පිළිබඳ තීන්දු තීරණ ගැනීම පිණිස පත් කර ඇති අතර, අනතුරුව සිදුකළ පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් ලුම්බිණිය මැනවින් තහවුරු වී යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් වී ඇත.

එසේම ලෝකයේ ප්‍රධාන ආගම් වල ශාස්තෘවරුන් ගේ උත්පත්ති ස්ථාන අතරින් පුරාවිද්‍යාත්මක ව සනාථ කර ඇති එකම ස්ථානය සිදුහත් බෝසතුන් උපත ලද ලුම්බිණිය පමණක් වීම ලෝක ව්‍යාප්ත බෞද්ධයන්ගේ භාග්‍යයක් ලෙස සැලකිය යුතුය.

එසේම බෞද්ධයන් ලැබූ මේ භාග්‍යය නිසාම ඒ භාග්‍යය නොමැති අන්‍යාගමික කුමන්ත්‍රණ කරුවන් විසින් බෞද්ධයන් විසින් වැඳ පුදාගත යුතු මේ පූජනීය භූමිය පිළිබඳ ව්‍යාජ මත පතුරවමින් නිග්‍රහ කිරීම සිදුවන බවද පැවසීය යුතුය.

 

 

 

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?