පුක්කුසාති රජු පිළිබඳ විකෘතිය

පුක්කුසාති රජු පිළිබඳ විකෘතිය.


බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක - 34


බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටින කල තක්ෂිලා නම් නුවර සිට එහි පැමිණ බුදු රදුන් බැහැ දැක දහම් ඇසු පුක්කුසාති රජුගේ කතාව විකෘති කරමින් බුදු රදුන් ලංකාවේ බව පවසන කණ්ඩායම් පහත වැරදි කරුණු ඉදිරිපත් කරයි.


1.) තක්ෂිලා නුවර සිට පුක්කුසාති රජු දින දෙකක් තුළ මෙම ගමන සිදුකළ බව.

2.) තක්ෂිලා, සැවැත් නුවර සහ රජගහ නුවර පිළිබඳ දුරවල් නොගැලපෙන බව.


3.) මේ ස්ථාන ලංකාවේ බව.





මෙම පුක්කුසාති රජු පිළිබඳව සඳහන් වන්නේ ධාතු විභංග සූත්‍රයේ වන අතර ඒ පිළිබඳ වැඩිදුර විස්තර ධාතු විභංග සූත්‍ර වර්ණනාවේ සඳහන් වේ.


එම සූත්‍ර වර්ණනාව ගැන සලකා බැලීමේදී අංක එකින් පෙන්වූ පුක්කුසාති රජුගේ ගමනට ගතවූ කාලය දින දෙකක් යන කරුණ එම සූත්‍ර වර්ණනාව කියවා තේරුම් ගත නොහැකි අයගේ අඳ බාල ප්‍රකාශයක් බව පැහැදිලිව තහවුරු වෙයි.


එම සූත්‍ර වර්ණනා කොටස පහත උපුටා දක්වා ඇත.


~~කුල පුත්‍රයා දුර යා යුතුය. හුදකලාව මග ගෙවන්නට නොහැකිය. එක් වෙළෙන්දෙක් ලුහුබැන්දේය. සියුමැලි කුලපුත්‍රයා යද්දී පොළොව කර්කශ බැවින් කකුල බිබිලි නැග බිදෙත්. දුක් වේදනා උපදිත්. කරත්තකරු කඳවුරු බැඳ සිටි කල කුලපුත්‍රයා මාර්ගයෙන් ඉවත්ව එක් ගස්මුලක හිඳියි. සිටිතැන පාද පිරිකමක් හෝ පිට පිරිකමක් හෝ කිරීමක් නැත. කුලපුත්‍රයා ආනාපානසති හතරවන ධ්‍යානයට සමවැද මාර්ගදාහය නැතිකොට ධ්‍යානයෙහි ඇලීමෙන් කල් යවයි.


දෙවන දවසෙහි අරුණ නැගුණු කල්හි සිරුර පිළිදැගුම් කොට නැවත කරත්තකරු ලුහුබඳියි. උදෑසන ආහාර ගන්නා කාලයෙහි කුලපුත්‍රයාගේ පාත්‍රය ගෙන කන බොන දෑ පාත්‍රයෙහි බහා දෙත්. එය අමුසහල් ද බෙරිවෙලා ද ගල් ඇති ද ලුණු වැඩි ද කුලපුත්‍රයා ලැබුණු සැටි සිහිකර අමෘතයක් මෙන් අනුභව කොට මේ ක්‍රමයෙන් අටක් අඩු දෙසීයක් යොදුන් ගියේය.~~




මෙහි පැහැදිලිව ඇති ආකාරයට රජතුමාගේ ගමනේ මුල් දින දෙක විස්තර කර එම ක්‍රමයට ගමනේ ඉතුරු කොටස සම්පූර්ණ කළ බව මිස "දින දෙකකින් ගමන නිමා කර" නොමැති බව, සිංහල භාෂාව අවබෝධ කරගැනීමේ යන්තම් හෝ හැකියාවක් ඇති අයෙකුට පහසුවෙන් වැටහෙයි.

එසේම දින දෙකක වැනි කෙටි ගමනක් නම් තක්ෂිලා සහ මගධය අසල්වැසි රාජ්‍යය විය යුතු අතර තමන්ගේ අසල්වැසි රටට කෙටි ගමනක් යෑමට පුක්කුසාති රජු ගැලක් පිටුපස දුකසේ යන්නේ ඇයි??


එනම් ගමන දින දෙකකින් නිමා නොකළ බව පැහදිලිව තහවුරු වෙයි.


මීළඟට ඉහත කී නුවර වල් අතර දුරේ නොගැලපෙන බවට කරන සඳහන සලකා බලමු.


මෙහිදී කිව යුතු කරුණ නම් අවුරුදු 2500කට පෙර තිබූ මාර්ග පද්ධතිය අනුව එකල කියූ දුරවල්, වර්තමාන අධිවේගී මාර්ග හරහා ලබාගන්න දුරවල් සමඟ සැසඳීම කොතරම් තර්කානුකූල ද යන්නයි. එනම් මෙහිදී අපට ලැබෙන අගයන් ආසන්න අගයන් බව සැලකිය යුතුයි.


එසේම යම් ස්ථාන දෙකක් අතර දුර වැඩි වන විට ලැබෙන අගයන් වල නිරවද්‍යතාවය අඩු වන බවද සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට වැටහෙනු ඇත.


මෙහිදී මහාවංසය සහ දීපවංසය ඇසුරින් යොදුන පිළිබඳව ලැබෙන දළ අගය සමඟ මේ දුරවල් සසඳා බලමු.


අදාල සබැඳිය.

https://vikurthiyataerehiwa.blogspot.com/2020/10/blog-post.html


සැවැත් නුවර සහ රජගහ නුවර අතර දුර යොදුන් 45 ක් බවට සූත්‍ර වර්ණනාවේ සඳහන් වන බැවින් සහ ඉන්දියාවේ වර්තමාන සැවැත් නුවර සහ රජගහ නුවර අතර දුර ආසන්න වශයෙන් කීමි 600ක් පමණ වන බැවින් මහාවංසය සහ දීපවංසය අනුව එන දළ අගය වන කීමි 14 පමණ වන යොදුන සමග ආසන්න වශයෙන් ගැලපෙයි.




එසේම තක්ෂිලා නුවර සහ රජගහ නුවර අතර අතීත මාර්ගයේ දුර යොදුන් 192 ලෙස සටහන් වන අතර වර්තමානයේ රටවල් දෙකක කීමි දහස් ගණනක් දුරින් පිහිටා ඇති තක්ෂිලා සහ රජගහ නුවර අතර රේඛීය දුර වුවද කීමි 1600ක් පමණ වෙයි. 




එවිට අතීත මාර්ගයේ දුර ඊට වඩා වැඩි අගයක් විය යුතු අතර මහාවංස/ දීපවංස යොදුන අනුව කීමි 2600 පමණ විය යුතුය. අතීතයේ පැවති දුෂ්කර මාර්ග පද්ධති සහ රේඛීය දුර අනුව මෙම අගය විය හැකි අගයකි. 

 එසේම සූත්‍ර වර්ණනාවේ සඳහන් වන පරිදි පුක්කුසාති රජු සහ බිම්බිසාර රජු එකිනෙකා හමු වි නොමැති අතර මිත්‍රත්වය ඇති වී ඇත්තේ රාජ්‍ය දෙක අතර වෙළඳාමේ යෙදුණු වෙළෙන්දන් අත හුවමාරු වූ ලිපි මගිනි. 

මේ රාජ්‍ය දෙක ඒක ළඟ (දින දෙකක දුරකින්) පිහිටියේ නම් මේ රජුන් එකිනෙකා හමුවීම සිදුවිය යුතුය. 

අඩුම තරමේ බිම්බිසාර රජු පුක්කුසාති රජුගේ නමවත් නොදැන සිටි බව මේ කොටසින් පැහැදිලි වෙයි.


~~රජතුමා ඔවුන් වැඳ සිටි කල්හි නුඹලා කොහේ වාසය කරන්නේදැයි ඇසීය. දේවයන් වහන්ස, තක්‍ෂිලා නුවර වාසීහුය. එකල රජතුමා ඔවුන්ගෙන් ජනපදවල නිරුපද්‍රිත බව සුභික්‍ෂිත බව ද නගරයන්හි ප්‍රවෘත්තීන් ද අසා නුඹලාගේ රජුගේ නම කුමක් දැයි ඇසීය. දේවයන් වහන්ස, පුක්කුසාති නම් වෙයි. ධාර්මික ද? එසේය, දේවයන් වහන්ස,~~


දින දෙකකින් පාගමනින් යන කෙටි දුරකින් පිහිටි රටවල් දෙකක් නම් ඒවා අසල්වැසි රටවල් විය යුතු අතර තම අසල්වැසි රටේ පාලකයා ගේ නමවත් නොදන්න පාලකයෙකු සිටිතැයි මේ පිරිස ගෙන එන මුග්ධ තර්ක අනුව සිතීමට සිදුවෙයි.

 

එසේම පුරාවිද්‍යාත්මකව සොයාගෙන ඇති සහ අනිකුත් ඉතිහාස මුලාශ්‍ර සමග ගැලපෙන තක්ෂිලා සහ රජගහ නුවර වර්තමාන පකිස්ථානයේ සහ ඉන්දියාවේ පැහැදිලිව ඇති බැවින් මේ ස්ථාන ලංකාවේ බව පවසන පිරිස ලංකාවේ අදාල ස්ථාන සාධක සාක්ෂි සමග අදාල දුරවල් සහ මූලාශ්‍ර වලට ගැලපෙන පරිදි ඇති ආකාරය පෙන්විය යුතුය.





එනම් ලංකාවේ

1.) තක්ෂිලා නුවර

2.) රජගහ නුවර

3.) සැවැත් නුවර

4.) තක්ෂිලා සහ රජගහ නුවර අතර දුර යොදුන් 192 ට ගැලපෙන ආකාරය.

5.) සැවැත් නුවර සහ රජගහ නුවර අතර දුර යොදුන් 45 ට ගැලපෙන ආකාරය.

6. මධ්‍ය දේශයක් වන මගධය සහ යොදුන් 900 මධ්‍ය මණ්ඩලය

7.) යොදුන් 100 වන ප්‍රත්‍යන්ත පුක්කුසාති රජුගේ රාජ්‍යය.

8.) යාබද අසල්වැසි රටේ රජුගේ නම අනිත් රටේ පාලකයා නොදැන සිටීමට පිළිගත හැකි හේතු


එසේ කිසිම සාධකයක් නොමැතිව මේවා ලංකාවේ ඇතැයි සුරංගනා කථා කී පමණින් කිසිවක් සිදු නොවන අතර ඔවුනගේ මුග්ධ බව පමණක් තහවුරු වෙයි.




එසේම සූත්‍ර වර්ණනාවේ උතුරු ප්‍රදේශයේ සිට පුක්කුසාති රජතුමා පැමිණි බව පවසන නිසා වෙනත් කිසිදු සාධකයක් නොමැතිව ලංකාවේ උතුරේ සිට පැමිණි බව පැවසීම ලංකාවේ උතුරේ බෞද්ධ ස්ථාන පෙන්වීමක් නොවන බවත් එය අනුරාධපුර වැනි බෞද්ධ අගනගර දකුණට ගෙනයාමට දතකන විකුර්තිකයන් ගේ කූට අරමුණක් පමණක් බව සැලකිය යුතුය. 

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?