චත්තාරි මානි ඨානානි මිථ්‍යාව

 චත්තාරි මානි ඨානානි මිථ්‍යාව...


බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක - 29


බුදු රදුන් ඉපදුන, බුදු බව ලද, ප්‍රථම ධර්ම දේශනය කළ සහ පිරිනිවන් පෑ යන ස්ථාන හතර සමදුරින් එක රේඛාවක පිහිටිය යුතු බවට ප්‍රකාශ කරන මේ පිරිස ඒ බව පෙන්වීමට විකෘති කළ සිතියම් සහ සත්‍ය වසන් කර දේශාංශ අගයන් භාවිතා කර ඇත.





ලංකාවේ සිතියම් විකෘති වෙනස් කර ඔවුන් බුදු රදුන්ට අදාල යැයි පවසන එම ස්ථාන හතර වෙනත් තැන් වලට ඇදගෙන විත් ඒක රේඛාවක පෙන්වීමට අසාර්ථක උත්සාහයක් දරා ඇත.





සිතියම් විකෘති කර එම ස්ථාන හතර ව්‍යාජ ලෙස ඒක රේඛාවක පෙන්වා ඇති ආකාරය පහත පෝස්ට් එකේ පෙන්වා ඇත.


https://m.facebook.com/groups/311232793326531/permalink/315998249516652/


දැන් ඔවුන් මෙම ස්ථාන හතරේ දේශාංශ අගයන් පමණක් ඉදිරිපත් කර එම ස්ථාන ඒක රේඛාවක ඇති බව පෙන්වා ඇත. මේ පිරිස නොකියා කියන්නේ මේ ස්ථාන නැගෙනහිර දේශාංශ 80 මත පිහිටි බැවින් ඒක රේඛාවක ඇති බවයි.


එය සත්‍ය ද?? නැගෙනහිර දේශාංශ 80 ලෙස අගයන් දුන් තරමින් ඒක රේඛාවක පිහිටයි ද? විග්‍රහ කර බලමු.


දේශාංශ යනු උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය යා කරමින් ඇඳි මනකල්පිත රේඛා සමූහයකි. ග්‍රිනිච් නගරය හරහා යන රේඛාව අංශක බිංදුව වන අතර එහි සිට දෙපසට නැගෙනහිර සහ බටහිර දේශාංශ 180 බැගින් ඇත.


දේශාංශ දෙකක් අතර පරතරය සමකයේදි උපරිම වන අතර එය 111.3km පමණ වෙයි. ධ්‍රැවයේ දී එම අගය බිංදුව බවට පත් වෙයි.


ශ්‍රී ලංකාව නැගෙනහිර දේශාංශ 

79° 42' - 81° 52' සහ උතුරු අක්ෂාංශ 5° 55' - 9° 51' අතර පිහිටා ඇති අතර ලංකාව ආසන්නයේ දේශාංශ දෙකක් අතර දුර ආසන්න වශයෙන් 110 km පමණ වෙයි.


මෙම ස්ථාන හතරේ පිහිටුම පහත පරිදි වෙයි.


අක්ෂාංශ දේශාංශ අනුව

ඉසිංබැස්සගල 8°34', 80°28' 

හිරිවඩුන්න 8°01, 80°44'

බඹරගල 7°17',  80°45'

බුදුගල. 6°38',  80°52'


මේ අනුව මේ ස්ථාන සියල්ල  නැගෙනහිර දේශාංශ 80 සිට විවිධ කලා අගයන් වල පිහිටා ඇති බව මැනවින් පැහැදිලි වෙයි. ( පිළිවෙලින් 28' 44' 45' 52')


තවද දේශාංශ දෙකක් අතර අපේ රට හරියේ දුර 110 km වන බැවින් කලා එකක් 1.8km වෙයි. 


එබැවින් මේ ස්ථාන 80 වැනි දේශංශයේ සිට ගත්තම පිළිවෙලින්

 

ඉසින්බැස්සගළ 50km දුරකිනුත්

හිරිවඩුන්න 79.2km දුරකිනුත්

බඹරගල 81km දුරකිනුත්

බුදුගල 93km දුරකිනුත් පිහිටා ඇත. 


එබැවින් මේ ස්ථාන හතර නැගෙනහිර දේශාංශ 80 ට සාපේක්ෂව කිසි ලෙස කින්වත් එකම රේඛාවක නොපිහිටන අතරම,


ඉසින්බෑස්සාගල හා බුදු ගල යා කරන මනකල්පිත රේඛාවක් ගතහොත් එම රේඛාවෙන් 15km නැගෙනහිර දෙසින් හිරිවඩුන්න පිහිටා ඇති අතර එම රේඛාවේ සිට 3km දුරින් බඹරගල පිහිටයි.


මේ අනුව මෙම ස්ථාන හතර කිසිම ආකාරයකින් එකම රේඛාවක පිහිටා නැති බව පැහැදිලිය.




දැන් මොවුන් නොපෙන්වන අක්ෂාංශ අනුව මේ ස්ථාන සමදුරින් පිහිටා ඇති දැයි සලකා බලමු.

ඉසිංබැස්සගල 8°34'

හිරිවඩුන්න 8°01

බඹරගල 7°17'

බුදුගල. 6°38'


එනම් බුදු ගල හා බඹරගල අතර කලා 39 ක වෙනසක් 

බඹරගල සහ හිරිවඩුන්න අතර කලා 44 ක වෙනසක්

හිරිවඩුන්න සහ ඉසින්බැස්සගල අතර කලා 33 ක වෙනසක් ඇත.


එසේම

බුදුගල සිට බඹරගල රේඛීය දුර 73.8km

බඹරගල සිට හිරිවඩුන්න රේඛීය දුර 81.7km

හිරිවඩුන්න සිට ඉසින්බැස්සාගල රේඛීය දුර 66.7km.


එබැවින් මේ ස්ථාන සම දුරින් පිහිටා ඇති බව පැවසීම විහිළුවකි.


මෙවැනි ඉතාම පැහැදිලි සරල කරුණු පවා විකෘති කරමින් ව්‍යාජ මතයක් ඉදිරිපත් කිරිම බුදු දහමට අනුකූල ද??


සැබෑ බෞද්ධයන් හට නුවනින් විමසා බැලීම පිණිස..


තෙරුවන් සරණයි.


Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?